Home / මවකගේ සිහිනය / දරුවාගේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ගැන ඔබ ඉන්නෙත් බියෙන් ද?

දරුවාගේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ගැන ඔබ ඉන්නෙත් බියෙන් ද?

2017-10-02 10:09:00       738
feature-top
 “හැබැයි පුතේ.... විභාගේ ලකුණු මදි වෙලා තිබුණොත් ඔන්න ඉතිං වෙන හොඳ ඉස්කෝලෙකට නම් යන්න ලැබෙන්නේ නැහැ.” ඔය ඉස්කෝලෙම තමයි ඉන්න වෙන්නේ හරිද? ශිෂ්‍යත්ව විභාගේ ඉවර වුණු දවසේ ඉදලා ෂෙහාන්ගේ අම්මගේ වැඩේ මේ විදිහට ෂෙහාන්ට තරවටු කරන එක. අම්මා විතරක් නම් කමක් නැහැ. තාත්තත් සමහර වෙලාවට එයාගේ ප්‍රතිඵල ගැන කියවනවා. “ෂෙහාන් මතකයිනේ ලකුණු 160 ට වැඩි වෙන්න ඕන. නැත්නම් ඉතිං මගේ හැටි දන්නවනේ.”

විභාගෙට කලින් ඉඳලාම මොනතරම් මහන්සි වෙලා පාඩම් කළත් ආදර්ශ ප්‍රශ්න පත්‍රවලට ෂෙහාන්ට ලැබුණේ, තරමක් අඩු ලකුණු ප්‍රමාණයක්. මේ නිසාම ඉස්කෝලේ ගුරුවරු පවා අම්මටයි තාත්තටයි ෂෙහාන්ගේ ඉගෙනීම ගැන එතරම් සතුටු වන බවක් පෙන්නුවේ නැහැ.

“දරුවාව තව උනන්දු කරවන්න වෙයි. මේ පාරත් එයා අරගෙන තිබුණේ අඩු ලකුණු...”

සර් මේ කථාව කියන කොට ෂෙහාන්ටත් ඒ බව ඇහුණා. තමන්ට පුළුවන් උපරිමයෙන් විභාගයට කැපවෙන්න තීරණය කළා වුණත්, අම්මලා තාත්තලා පවුලේ අනිත් අය බලාපොරොත්තු වෙන විදිහේ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා ෂෙහාන්ට විශ්වාසයක් තිබුණේ නැහැ.

සමහර වෙලාවට ෂෙහාන්ගේ අක්කලත් එයාව නිතරම විහිලුවකට ලක් කළා. විභාගේ ඉවර වුණාට පස්සෙත් ගෙදර තමන්ගේම පවුලේ අය දෙන පීඩනය ෂෙහාන්ට දරා ගන්න බැරි වුණා. සමහර වෙලාවට අම්මයි තාත්තයි කියන කථා අහලා එයාට තව තවත් තමා ගැන තරහක් කණගාටුවක් ඇති වුණා.

“ඔයා හිතනවද අපේ පුතා පාස්වෙලා ඇති කියලා. ලොකුම ප්‍රශ්නේ ඉස්කෝලයක් හොයාගන්න එක. අනික මම කොහොමද අහල පහළ අයට මුහුණ දෙන්නේ. යන්තම් 160 වත් පැනලා ලකුණු තිබුණොත් ඇති. අර තරිඳු මතකයි නේද? ඒ ළමයා නම් ෂුවර් එකට පාස් වෙනවා. අපේ පුතාගේ හොඳම යාළුවා. බැරිවෙලා ඒ ළමයා පාස්වෙලා අපේ මෝඩයා ෆේල් වුණොත් ඉතිං ඉඳලා හමාරයි. මොකද හැමෝම හිතන්නේ අපේ ළමයත් ඒ ළමයා තරම් දක්ෂයි කියලා. අනේ! මන්දා මම නම් මාර බයෙන් ඉන්නේ ඒයි.”

මේ විදිහට විභාගෙන් පස්සේ කාලය ටිකෙන් ටික ගත වුණත් ෂෙහාන්ට අහන්න දකින්න ලැබෙන දේවල් නිසා මනස අවුල් වෙලා තිබුණේ... එයා ටිකෙන් ටික වෙනස් වුණා. මෑතක ඉඳලා කවුරුත් කියන කිසිම දෙයක් ෂෙහාන් ඇහුවේ නැහැ. අම්මා තාත්තා අක්කලාව ගණන් ගන්නේ නැහැ. හරිම අකීකරුයි. ෂෙහාන්ට හදිසියේ සිද්ධ වුණේ මොකක්ද? විභාගයට කලින් හරි අපූරුවට හිටිය දරුවා.... ලබන මාසේ මුල ප්‍රතිඵල එනවා. දරුවාට මොනවා වෙලාද මන්දා.

ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන දරුවකු ඉන් ඉදිරියට පිය නඟන්නේ නව යොවුන් වියටයි. මෙම තත්ත්වයට පත් වීමත් සමඟ දරුවාගේ කායික වෙනස්කම් වගේම මානසිකව ඇතිවන ස්වභාවයත් සමඟ යම් ආතතිමය තත්ත්වයක් ඇති වනු ලැබේ. මෙය ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වන විට මෙම ආතතිමය තත්ත්වය ද ක්‍රමයෙන් වැඩි වේ. නමුත් පෙර පැහැදිලි කළ ආකාරයේ මව්පියන් විසින් දරුවාට ඇති කරන වෙනත් බලපෑම්, තර්ජනාත්මක බිය වැද්දීම් නිසා නව යොවුන් වියට එළඹීමත් සමඟ ඇති වන ස්වභාවික ආතතිමය තත්ත්වයට තවත් අනවශ්‍ය ආකාරයේ පීඩනයක් ඇති කරනු ලැබේ.

දරුවකු විභාගයකට මුහුණ දුන් පසුව ලබන ප්‍රතිඵලය කුමක් වුවත් මව්පියන් එය පිළිගැනීමට සූදානම් විය යුතුයි. එසේ නොමැතිව තම දරුවාට දඬුවම් පැමිණ වීම්, බැණ වැදීම්, චෝදනා කිරීම් හෝ බිය ගැන්වීම් කිසි විටෙකත් සිදු නොකළ යුතුයි. මෙසේ දරුවාට අනවශ්‍ය ආකාරයේ පීඩනයක් ඇති කිරීමෙන් ඔවුන් යම් ආතතිමය තත්ත්වයකට පත් විය හැකියි.

සෑම විටෙකම ඔබට ලැබෙන්නේ කුමන ප්‍රතිඵලයක් වුවද එය පිළිගැනීමට සූදානම් බව ඔබ දරුවාට ඒත්තු ගැන්විය යුතුයි. මෙවැනි සිතුවිලි මඟින් දරුවාගේ මනස සන්සුන් කිරීමට, සැහැල්ලු කිරීමට, නිරෝගී කිරීමට කටයුතු කිරිම මව්පියන් සතු වගකීමක්. විභාගයට පෙර සිට දැඩිලෙස වෙහෙසට පත් වී අධ්‍යාපන කටයුතු හදාරා ඉන් අනතුරුවත් එහි ප්‍රතිඵල පිළිබඳ මෙසේ ආතතියකට පත් වීම කුඩා මනසකට දරා ගැනීමට ඉතා වෙහෙසකාරී වේ. ඒ නිසා හැකි සෑම විටෙකම ඔබගේ දරුවාගේ බුද්ධි මට්ටම, දක්ෂතාව, කුමක් වුවත් ශිෂ්‍යත්ව විභාගයෙන් අනතුරුව ප්‍රතිඵල පිළිබඳ පවසා දරුවාව නිතර පීඩාවට පත් නොකිරීමට මව්පියන් වශයෙන් ඔබ කටයුතු කළ යුතුයි.

විභාග ප්‍රතිඵලය පැමිණීමෙන් පසුව ඒ පිළිබඳ දරුවාට චෝදනා කිරීම අරුත් රහිත ක්‍රියාවක්. ඇතැම් මවුපියන් තමාගේ දරුවාට අපහාස කිරීම, චෝදනා කිරීම, බැණ වැදීම ආදී බොහෝ නොමනා ක්‍රියා සිදු කරනු ලැබේ. මෙමඟින් දරුවන් දැඩි මානසික පීඩනයකට පත්විය හැකි අතර ඔවුන්ගේ චර්යා රටාව පවා වෙනස් වීමට ලක් වී සිතා ගැනීමටත් නොහැකි බරපතළ ගැටලුවලට මුහුණ දෙනු ලැබේ. කෙසේ වෙතත් මව්පියන් විසින් දුරදිග නොබලා සිදු කරන මෙවැනි ක්‍රියා නිසා දරුවාගේ ආත්ම විශ්වාසයට විශාල පහරක් ඇති වේ. ජීවිතයේ වැදගත් කඩඉමක් පසු කරන මෙවැනි දරුවකුට ආත්ම විශ්වාස බිඳ වැටිම අනාගත පැවැත්මට බරපතළ ගැටලු ඇති කරවිය හැකියි.

ඇතැම් දරුවන් ඉගෙනීමට ඉතා දක්ෂ වන නමුත් සෑම දරුවකුටම එවැනි හැකියාවක් නොමැත. තවත් පිරිසක් වෙහෙස මහන්සි වී පාඩම් කළත් සැලකිය යුතු මට්ටමේ ප්‍රතිඵල බලාපොරොත්තු විය නොහැකියි. මේ කෙසේ වුවත් වඩාත් වැදගත් වන්නේ දරුවා ලබන ප්‍රතිඵලය කුමක් වුවත් මව්පියන් ඊට දක්වන ප්‍රතිචාරය යහපත් වීමයි. ඒ වගේම මෙය ජීවිතයේ අවසානය නොවන බවත් ශිෂ්‍යත්වය අසමත් වීම තමාගේ මුළු ජීවිතයම අසමත් වීම නොවන බවත් දරුවන්ට අවබෝධ කර දීමට මව්පියන්ට හා පවුලේ අනෙකුත් අයට හැකි විය යුතුයි.

ඒ වගේම ජයග්‍රහණ මෙන්ම පරාජය ද ඇද වැටීම් ද එක හා සමානව භාර ගැනීමට, දරා ගැනීමට දරුවාව හුරු කරවීම ද මව්පියන් සතු වගකීමක්. ඒ වගේම පරාජයක් ලැබුව ද අනාගත ජීවිතයේ ඉලක්කවලට ගමන් කරවීමට තරම් ශක්තිමත් මනසක් ලබා දීමට දරුවාට උපකාර කිරීම ද මව්පියන්ගේ වගකීමක්. ඇතැම් මව්පියන් විසින් විභාගය සමත් වූ දරුවන් පිළිබඳ තම දරුවා ඉදිරියේ වර්ණනා කිරීම් නිසාද තම දරුවාගේ මානසිකත්වය දැඩි පීඩාවකට මෙන්ම අපේක්ෂාභංගත්වයට පත් වේ. නමුත් මෙහිදී මව්පියන් සිදු කළ යුත්තේ තමාගේ දරුවා ලැබූ ප්‍රතිඵලය කුමක් වුවත් එය සංසන්දනාත්මකව විවේචනය නොකර දරුවාගේ මානසික තත්ත්වය ගොඩනැංවීමට කටයුතු කිරීමයි. තවද පවුලේ වැඩිමහල් සහෝදර සහෝදරියන්ගේ ප්‍රතිඵල සමඟ දරුවාගේ ප්‍රතිඵලය සැසඳීම ද කිසිවිටෙකත් නොකළ යුත්තක්.

මීට අමතරව ඇතැම් මව්පියන් දරුවන්ට වඩා දුක් වීම, පීඩනයට, ආතතියකට පත් වීම ද බොහෝදුරට දැකගත හැකියි. මෙසේ මව්පියන්ගේ දුක්වීම, දරුවන් ඔවුන්ට දැඩි සෙනෙහසක් දැක්වීම නිසා අවසානයේදී දරුවාට තවත් අනවශ්‍ය පීඩනයක් බවට වක්‍රාකාරයෙන් බලපෑම් ඇති කරනු ලැබේ. ඒ වගේම ශිෂ්‍යත්ව විභාගයෙන් අනතුරුව දරුවන් පිළිබඳ මව්පියන්ගේ අවධානය ඔවුන්ගෙන් ගිලිහී යන අතර එමඟින් නව යොවුන් විය එළඹීමත් සමඟ ඇතිවන විවිධ වෙනස්කම් මත දරුවන් අයහපත් දේවලට යොමුවිය හැකියි. ඒ නිසා පෙරදී තරම් නොවුණත් ශිෂ්‍යත්ව විභාගයට අනතුරුවත් තමාගේ දරුවා පිළිබඳ අවධානයකින් අවබෝධයකින් කටයුතු කිරීම මව්පියන් සතු වගකීමක්.

Wmqgd .ekSu wdfrda.Hd mqj;a m; weiqfrks

More News »