Home / මවකගේ සිහිනය / ආත්‍රායිටීස්‌ රෝගීන්ටත් දරු සම්පත් වාසනාව

ආත්‍රායිටීස්‌ රෝගීන්ටත් දරු සම්පත් වාසනාව

2017-10-16 09:41:00       728
feature-top
සිරුරේ හන්දි ඇතුළත ඇති හන්දි පටලය ඉදිමුම නිසා ඇතිවන රෝග සමූහයක්‌ වන ආත්‍රයිටීස්‌  ඇතිවූ විට එය සුව කර ගැනීමට හෝ මතුව ඇති රෝග තත්ත්වය පාලනය කර ගැනීමට යම් කාලයක්‌ ඖෂධ ප්‍රතිකාර ගැනීමට සිදුවේ.

මෙලෙස ගනු ලබන ඖෂධ නිසා ඔවුනට දරු සම්පත් ලබාගැනීමේදී ගැටලු මතුවේ දැයි කියා බියක්‌ පවතී. එබැවින් ආත්‍රයිටීස්‌ රෝග සඳහා ප්‍රතිකාර ලබාගන්නා පුද්ගලයන් දරු සම්පතක්‌ සඳහා සූදානම් වන්නේ කෙසේ දැයි කියා විමසා බලමු.

වෛද්‍යතුමනි, ආත්‍රයිටීස්‌ රෝගයෙන් පෙළෙන පුද්ගලයන්ට දරු සම්පත් සඳහා සූදානම් වන්නේ කෙසේද?

ආත්‍රයිටීස්‌ රෝගය කාන්තාවන්ට මෙන්ම පිරිමින්ට ද ඇතිවන නිසා මෙම ගැටලුව දෙපාර්ශවයටම බලපාන අයුරු මුලින්ම අපි පැහැදිලි කර ගනිමු.

ආත්‍රයිටීස්‌ රෝග මතුවී ඇති ආකාරය අනුව එය සුවවීමට ලබාදෙන ඖෂධ වර්ග කිහිපයක්‌ තිබේ. එය මතුව ඇති රෝගය සහ රෝග පාලනය අනුව වෛද්‍යවරයා තීරණය කරනු ලබයි.

එනිසා ඇතැම් ඖෂධ ගැනීම මගින් පිරිමින්ගේ ශුක්‍රාණු නිපදවීමේදීත් කාන්තාවන්ගේ ඩිම්බ නිපදවීම සහ කළලය වර්ධනය වීමේදීත් බලපෑම් ඇතිවිය හැකියි. ආත්‍රයිටීස්‌ රෝගයට ප්‍රතිකාර ගනු ලබන කාන්තාවන් සහ පිරිමින් දරු සම්පත් ලබාගැනීමට බලාපොරොත්තු වේනම් පළමුව තමාගේ ආත්‍රයිටීස්‌ රෝගයට ප්‍රතිකාර කරනු ලබන වෛද්‍යවරයා සමග කතාකර අවශ්‍ය උපදෙස්‌ ලබා ගැනීම වැදගත් වන්නේ එබැවිනි.

පිරිමි පුද්ගලයකු

ආත්‍රයිටීස්‌ රෝගයට ප්‍රතිකාර ගනු ලබන පිරිමි පුද්ගලයකු දරු කළලයක්‌ නිපදවීම සඳහා එක්‌ වීමට පෙර දැනට ගනු ලබන ඖෂධ පිළිබඳව වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කළ යුතුය. දැනට ගනු ලබන ඖෂධ මගින් ශුක්‍රාණුවලට බලපෑමක්‌ සිදුවේ නම් එම ඖෂධ වෙනුවට ශුක්‍රාණුවලට බලපෑමක්‌ ඇති නොවන ඖෂධ වෛද්‍යවරයා විසින් නිර්දේශ කරනු ඇත. එහිදී මෙතෙක්‌ ගනු ලැබූ ඖෂධ භාවිතය නතර කර මාස 03 ක්‌ පමණ ගිය පසු දරු කළලයක්‌ නිපදවීම සඳහා එක්‌විය හැකිය. එම කාලය වන විට ඔහුගේ ශුක්‍රාණුවලට ආත්‍රයිටීස්‌ සඳහා ගනු ලැබූ ඖෂධ මගින් සිදුවූ බලපෑම ඉවත්ව ගොස්‌ තිබේ.

කාන්තාවක්‌

ආත්‍රයිටීස්‌ රෝගයෙන් පෙළෙන කාන්තාව ගැබ් ගැනීමකට පෙර මාස 06 ත් 12 ත් අතර කාලයක්‌ වෛද්‍ය උපදෙස්‌ මත ඒ සඳහා සූදානම් විය යුතුය.

කාන්තාව ගැබ්ගත් විට දරුවා බිහිවන තුරු මාස 09 ක කාලයක්‌ දරුගැබ දරා සිටින නිසා ඇයගේ ආත්‍රයිටීස්‌ රෝගය නිසි පාලනයකට ලක්‌කර ගැනීම සහ ගැබිනි සමයේ රෝගය උත්සන්න නොවී පාලනය කරගන්නා ආකාරය පිළිබඳව වෛද්‍ය උපදෙස්‌ ලබාගත යුතුය.

ආත්‍රයිටීස්‌ ඇති හන්දියෙන් අධික ලෙස රසායන ද්‍රව්‍ය නිපදවනු ලබයි. ඒවා රුධිරය ඔස්‌සේ ගොස්‌ දරු කළලයට බලපෑම් ඇති කළ හැකිය.

ආත්‍රයිටීස්‌ රෝගය නිසා එම කාන්තාවගේ වකුගඩුවල යම් අසාමාන්‍ය ක්‍රියාකාරිත්වයක්‌ පවතී නම් එය නිවැරැදි කරගත යුතුය.

ගැබිනි සමයේදී වකුගඩු ක්‍රියාකාරිත්වය අසාමාන්‍ය වුවහොත් ඉන් මවගෙත් දරුවාගෙත් ජීවිතවලට බලපෑම් ඇති විය හැකිය.

ගැබිනි සමයේදී ආත්‍රයිටීස්‌ රෝගී කාන්තාව ගත යුත්තේ දරු කළලයට බලපෑම් ඇති නොවන ඖෂධ වර්ගය.

එම ඖෂධ ආත්‍රයිටීස්‌ රෝගයට ප්‍රතිකාර කරන වෛද්‍යවරයාගේ උපදෙස්‌ මත ගත යුතුය.

මෙලෙස නිසි වෛද්‍ය උපදෙස්‌ මත ආත්‍රයිටීස්‌ රෝගය පාලනය කරගන්නා කාන්තාවන් සහ පිරිමින්ට නිරෝගී දරු සම්පතක්‌ ලබාගැනීමට අවස්‌ථාව උදාකරගත හැකිය.

Wmqgd .ekSu wdfrda.Hd mqj;a m; weiqfrks

More News »