Home / මවකගේ සිහිනය / දියවැඩියාවෙන් පෙළෙන කතක් ගැබිනියක් වු විට ...

දියවැඩියාවෙන් පෙළෙන කතක් ගැබිනියක් වු විට ...

2017-10-18 09:06:00       729
feature-top
දියවැඩියා ඇති කතුන් ද නැති කතුන් ද ගර්භණී බවට පත් වේ. දියවැඩියාව ඇති කාන්තාවක් ගැබ්ගත් විට අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග ඇත. ඒවා අනුගමනය නොකළොත් කුස පිළිසිඳ ගත් බිළිඳාගේ ජීවිතයට අනතුරුදායක තත්ත්වයන්ට මුහුණදීමට සිදු වේ. මවගේ ජීවිතය ද අවදානමට ලක් විය හැකියි.

දියවැඩියාවෙන් පෙළෙන ගැබිනියකගේ රුධිරගත සීනි ඉතා ක්‍රමවත් ලෙස ගැබ්ගත් දා සිටම පාලනය කර ඇත්නම් ගැබ් දැරීම සාර්ථක වන බව මෑතක දී කළ අධ්‍යනවලින් සනාථව ඇත. සාමාන්‍ය ගැබ් කාලය ගැබ් ගැනීමට පෙර අවසන් වරට ඔසප් වූ කාල සීමාවේ පළමු දිනයේ සිට ගණන් බලන විට සති 40 ක කාලයයි.

ගැබ්ගත් බව දැන ගැනීමට පෙර ස්ත්‍රියක් සති හයක් හෝ හතක් තමා නොදැන ගැබිනියක් ව සිටින්නට ඇත. ඒ වන විටත් කලලය අඟල් 1/4 පමණ විශාල ය. ගර්භණී බව දැනගත් විගස ම දියවැඩියාව පාලනය කළ යුත්තේ බිළිඳාගේ මොළය, මධ්‍ය ස්නායු පද්ධතිය, කොඳු ඇට පේළිය, බඩවැල් ආදිය සෑදෙමින් පවතින නිසාය. කලලයේ හෘද ස්පන්දනය සිදු වෙමින් පවතින නිසා ය. ගැබ් ගැනීමට පෙර රුධිර පාලනය කිරීම වැදගත් මුත් ගැබ්ගත් පසු එය කිරීමට සිදු වී නම් මනාව තේරුම් ගත යුත්තේ මවගේ දරුවාගේ ජීවිත දෙකම හානි විය හැකි දියවැඩියාව ගැන සිතීම ඉතා වැදගත් බව ය.

මෙවැනි ගර්භණී මවක් සිය ප්‍රසව වෛද්‍යවරයා සහ දියවැඩියාව පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයාව පළමු දෙවන තුන්වන කාර්තුවල දී සතියට වරක්, සති දෙකකට වරක් බැගින් හමු විය යුතුය.

මේ සෑම හමුවකදී ම බිළිඳාගේ බර, වැඩීම, රුධිර පීඩනය, මවගේ රුධිරගත සීනි මට්ටම, මුත්‍රා පරීක්ෂාව ආදිය සිදු කරයි. මවගේ දියවැඩියා පාලනය පරීක්ෂා කර අධිරුධිර පීඩනය, ඉදිමීම, මුත්‍රාවල ප්‍රෝටීන් වර්ධනය වීම, කලලය වටා ඇති කෝෂයේ අධික ද්‍රව ඇතිවීම, මුත්‍රා ආසාදන පැතිරීම ගැන අවබෝධයක් ලබා ගනී.

මේ රෝග තත්ත්ව දියවැඩියාව නැති මව්වරුන්ට වඩා දියවැඩියාව ඇති මව්වරුන්ට බලපායි. එසේම මෙවන් ගැබිනියන්ගේ ඇස් හා වකුගඩු ගැන වඩාත් සැලකිලිමත් විය යුතුය.

ග්ලයිකොසයිලේටඩ් හිමොග්ලොබින් පරීක්ෂණය වරින් වර කරමින් මෙවන් දියවැඩියා ගැබිනියන්ගේ දියවැඩියාව ප්‍රමාණවත් ලෙස පාලනය වී ඇත්දැයි බලයි. දියවැඩියාව ඇති ගැබිනියට දියවැඩියා පෙති භාවිතය නතර කිරීමට උපදෙස් දෙන වෛද්‍යවරු පෙති වෙනුවට ඉන්සියුලින් භාවිතය අරඹති.

ගැබිනි බව ගැහැනියකට අතිරේක බරකි. දියවැඩියාව ඇති ගර්භණියට මෙය අතිරේක වගකීමකි. ඇය වගකීමෙන් පරිස්සම් විය යුතුය.

මුල් මාස තුන තුළ ඉන්සියුලින් අවශ්‍යතාවය අඩු ය. එසේම ඔක්කාරය නිසා මව ආහාර ගන්නේ අඩුවෙන් ය. එනිසා නිතර නිතර මද වශයෙන් ආහාර ගැනීම, රෑ නින්දට පෙර සුළු අහරක් ගැනීම වෛද්‍යවරයා නිර්දේශ කරන සීනි වර්ගයක් ළඟ තබා ගැනීම මඟින් රුධිරගත සීනි (හයිපොග්ලයිසීමියා) ප්‍රතික්‍රියාවෙන් වෛද්‍ය උපදෙස් මත ප්‍රවේශම්වීම ගැබිනි මව කළ යුතුය.

තුන්වන මසින් පසු ගැබිනියගේ ඉන්සියුලින් අවශ්‍යතාව වැඩි වේ. වැදෑමහෙන් වෑහෙන හෝර්මෝන ඉන්සියුලින් ක්‍රියාකාරකම්වලට බාධා කිරීම නිසා වඩාත් ඉන්සියුලින් උවමනා වේ.

එනිසා ගැබිනියට ඉන්සියුලින් විදින වාර ගණන වැඩි කරයි. දියවැඩියාව විධිමත් ඉන්සියුලින් භාවිතය, ආහාර, ව්‍යායාම පිළිබඳ සමබර දෛනික වැඩ පිළිවෙළක් භාවිතය තුළින් පාලනය කළ හැකිය.

සම්පූර්ණ ගර්භණී කාලය තුළම දියවැඩියාව පාලනය කළ විට දියවැඩියාව නැති ගැබිනියක් සේ සමාන ලෙස සාමාන්‍ය දරුවෙකු සාමාන්‍ය ලෙස බිහි කළ හැකිය.

කලලයට මුල් මාස 3 ක් වයස තිබිය දී දියවැඩියාව පාලනය නොකළේ නම් උත්පත්ති අඩුපාඩු ඇති ළදරුවන් බිහි වේ. ගැබිනි බවේ අන්තිම මාස තුනේ දී ගැබිනි මවගේ රුධිරගත ග්ලූකෝස් මට්ටම අධික නම්, දරුවන්ගේ බර ඉතා වැඩි වී එනමුත් නොමේරූ ළදරුවන් වනු ඇත.

ඒ ළදරුවන් ශ්වසනයේ අපහසුතා රුධිරගත සීනි ඉතා වේගයෙන් අඩුවීම් පෙන්නුම් කරනු ලබයි. වසර ගණනාවක් පුරා දියවැඩියාව තිබූ කාන්තාවක් ගැබිනියක් වූ විට ඇගේ වැදෑමහ සාමාන්‍ය ලෙස නොවැඩෙන නිසා කලලය නිසි සේ පෝෂණය කළ නොහැකි වී බර අඩු දරුවන් ඉපදේ.

ඒ දරුවන් උපත ලත් පසු මුල් දිනවල විශේෂ රැක බලා ගැනීම්වලට ලක් කිරීමට සිදුවේ. ගැබිනි මවගේ බර වැඩි නම් පෝෂ්‍යදායී ආහාර ගනිමින් මේද ඇති හා තෙලෙන් බදින ආහාර නොගැනීම දියවැඩියා ගැබිනිය කළ යුතුම ය. වෛද්‍යවරු මේ සඳහා උපදෙස් ලබා දෙති. කුසේ සිටින ළදරුවාගේ තත්ත්වය ද බිහිවීමට පෙර වෛද්‍යවරු අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂණ මඟින් තීරණය කරනු ඇත.

ගැබිනි බවේ අවසන් සති 10 තුළ දී මෙසේ ළදරුවාගේ තත්ත්වය සොයන පරීක්ෂණ වැඩි වශයෙන් කරයි. විනාඩි 20 - 30 දක්වා කාලයක් තුළ කුස තුළ සිටින බිළිඳාගේ හෘද ස්පන්දනය ගැන සොයන පරීක්ෂණ ද සිදු කෙරේ.

ගැබිනිය විසින් මේ කාලයේ දී උදෑසන ආහාර ගත් පසු ළදරුවාගේ පා පහර 10 ක් තෙක් ගණන් කරමින් සිදු වූ වේලාවන් සටහන්කර වෛද්‍යවරයාට පෙන්විය යුතුය.

 

වෛද්‍යවරයා කැඳවන දිනය තෙක් දිනපතා එසේ කළ යුතුය. මේ කරුණු සැලකිල්ලට ගෙන කටයුතු කර දියවැඩියාව ඇතත් නිරෝගී දරුවෙකු ලබන්නට කතුන් හට හැකිය.

දරුවන් පතන දියවැඩියාව ඇති කාන්තාවන් ගැබිනියක වීමට පෙර සිට ම දියවැඩියාව ආහාර, ව්‍යායාමය, වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර තුළින් පාලනය කර ගනී නම් ඉතා හොඳ ය.

උපදෙස් -
දියවැඩියා සංගමයේ වෛද්‍ය
මහේන් විජේසූරිය

curtesy : tharunie.lk



More News »