Home / මවකගේ සිහිනය / ඔබේ දරුවාත් අනාගතයේ දක්ෂ ලේඛකයෙක්

ඔබේ දරුවාත් අනාගතයේ දක්ෂ ලේඛකයෙක්

2017-11-08 09:38:00       93
feature-top
රචනා ලිවීමට අද බොහෝ දරුවන් දක්වන්නේ මැලි කමකි. මන්දයත් ඔවුන්ගේ නිර්මාණාත්මක හැකියාව පිරිහී ඇති නිසාය. එම නිසා රචනාවකට කරුණු ගොනු කර ඒවා නිවැරදිව පෙළ ගැස්වීම ඔවුන්ට අපහසු කාර්යයක් වී ඇත.

රචනාවක් යනු නිශ්චිත අදහසක් යටතේ සිතට නැගෙන අදහස් ලිඛිතව පෙළ ගැස්වීමය. එම නිශ්චිත අදහස රචනාවේ මාතෘකාව වේ.

රචනාවක් ලිවීමේ දී එහි කරුණු ගොනු කිරීම මාතෘකාවට අනුව සිදුවිය යුතුය. උදාහරණයක් ලෙස මගේ ගම ගැන රචනාවක් ලියන්නේ නම් ගමේ සුන්දරත්වය පිළිබඳව සඳහන් විය යුතු අතර ගමේ යම් ස්ථානයක් ගැන හා එම ස්ථානයේ සුන්දරත්වය පිළිබඳව අනවශ්‍ය ලෙස විස්තර කිරීම සුදුසු වන්නේ නැත.

රචනාවක ආරම්භය පැහැදිළි විය යුතුය. එමෙන්ම එය ක්‍රමානුකූලව විස්තර කර අධ්‍යයනය කිරීම ඉතා වැදගත් වේ.

යම් සිද්ධියක් පිළිබඳව විස්තර කරන ආකාරය අප බලමු.

උදාහරණයක් ලෙස 'මා ගිය විනෝද ගමනක්' යන මාතෘකාව ගනිමු.

මෙහිදී විස්තර විය යුතු වන්නේ ගමනේ ආරම්භයේ සිට අවසානය දක්වාය. මුලින්ම ගමනේදී තමන් විනෝද වූ ආකාරය විස්තර කර අවසානයට ගමන ආරම්භ කරන ලද ආකාරය විස්තර කිරීම සුදුසු නැත.

රචනාවක් ලිවීමට පෙර දරුවන්ට ඒ පිළිබඳව පසුබිම් විස්තරයක් කරදීම සුදුසුය. ඒ  තුළින් දරුවෝ කිසියම් මාතෘකාවකට අනුව රචනාවක් ලිවීමට හුරුවෙති.

දරුවන් සිඟිති වියේ සිටම මේ සඳහා හුරු කරන්නේ කෙසේදැයි  බලමු.

දරුවාගේ පළමු රජදහන නිවසය. එමනිසා නිවසේ ඇති දේ පිළිබඳව හා ඒ ඇසුරින් විවිධ අත්දැකීම් ලබා ගැනීමට දරුවාට අවස්ථාව ලබා දිය යුතුය. එතුළින්ම පරිසරයේ සුන්දරත්වය නැරඹීමට  දරුවාට ඉඩ දීමද ඉතා අවශ්‍යය.

දරුවාට පෙනෙන ලෙස නිවසේ සුන්දර දේවල් වල පින්තූර එල්ලා තැබීමට පුළුවන. ඒවා දෙස බලා ඒවා විස්තර කිරීමට දරුවාව උනන්දු කළ හැකිය. දරුවන්ගේ සිත් වලට අළුත් අදහස් ගලා ඒමට එය මනා පිටුවහලක් වේ.

කතාන්දර වල පින්තූර පෙන්වා ඒවා පිළිවෙලින් විස්තර කිරීමට දරුවාට අවස්ථාව ලබා දෙන්න.

දරුවා තරමක් වියපත් වී හොඳින් අකුරු කියවීමට හා ලිවීමට හුරු වූ විට පින්තූරයක් හෝ සැබෑ දර්ශනයක් දෙස බලා එය විස්තර කර ලියන ලෙස දරුවාට පැවසීමට පුළුවන. ඒ හරහා දරුවාගේ අදහස් ලිඛිතව ප්‍රකාශ කිරීමේ හැකියාව වර්ධනය වනු ඇත.

විවිධ අත්දැකීම් මෙන්ම පොත්පත් කියවීමද සාර්ථක රචනාකරුවකුට අවශ්‍ය ප්‍රධාන මෙවලම් අතර වේ. එම නිසා දරුවන්ට හැකි තරම් පොත් පත් කියවීමට අවස්ථාව සලසා දෙන්න.

හැකි සෑම විටම ලෝකය පිළිබඳව විවිධ දේ වටහා දෙන්න. අළුත් අත්දැකීම් ලබා ගැනීමට උත්සාහ කරන විට එයට ඔබගේ සහයෝගය ලබා දෙන්න.

එය ඔබගේ දරුවා අනාගතයේ දක්ෂ ලේඛකයකු වීමට මහඟු පිටිවහලක් වනු ඇත.

උපුටා ගැනීම ලක්බිම පුවත් පත ඇසුරෙනි

More News »