Home / මවකගේ සිහිනය / දරුවකුගේ සුව නින්ද ගැන ඔබ නොදත් කරුණු කිහිපයක්…

දරුවකුගේ සුව නින්ද ගැන ඔබ නොදත් කරුණු කිහිපයක්…

2017-11-24 12:25:00       185
feature-top
දරු පැටියා නිතර නිතර අවදි වී හඬ නගන විට ඔබටත් ඔබේ සහකරුවාටත් හිතට මහත් කනස්සල්ලක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඒ කනස්සල්ල පමණක් නොවේ, දරුවා නිසි ලෙස නින්ද නොලැබුවොත් දරුවාගේ වර්ධනයටත්, අනෙකුත් අංශ වලටත් බලපෑමක් ඇති විය හැකියි...

සුව නින්දක් ලබන දරුවා සතුටින් දවස ගෙවයි
බොහෝ දරුවන් ඉතා කුඩා කාලයේ වැඩි පැය ගණනක් නිදා ගත්තත් වයසින් වැඩෙන විට ඔවුන්ගේ මනස කුතුහලයෙන් පිරී යාමත්, විවිධ පාරිසරික සාධක සමග මනස එහෙ මෙහෙ යාමත් නිසා ඔවුන් නින්දට යාමට ප්‍රමාද වෙන අවස්ථා වැඩියි. විශේෂයෙන්ම අද කාලයේ රූපවාහිණි, පරිඝනක පමණක් නොවේ ජංගම දුරකථන සහ ටැබ් භාවිතය නිසාත් දරුවන් නිදා නොගෙන මේ දේවල් නරඹමින් හෝ ඒවායින් පරිඝනක ක්‍රීඩා කරමින් සිටිනු දැකිය හැකියි… නමුත් මේ සියල්ල සමග දරුවා විඩාවට පත් වෙනවා - සමහර විට දරුවාටත් නොදැනී! එවැනි දරුවෙක් නිසි නින්දක් නොලැබුන විට පසු දිනයේ අවදි වන්නේ යම් කිසි විඩාවක් සමගයි. ඉන් පසු දරුවා සතුටින් සිටින බව අඩු වීමට පුළුවන්. සමහර විට ඔවුන් තරමක් කළහකාරී වීමත් අපි දකින දෙයක්. එනිසා දරුවාගේ රූපවාහිණි, පරිඝනක සහ ජංගම උපාංග භාවිතය සීමා කර නිසි ලෙස නින්දට යොමු කරවන්න...

හදවතේ සෞඛ්‍යය
ඔබ සමහර විට නොසිතන්නත් ඇති...දරුවාගේ නින්ද ඔහුගේ හෝ අයගේ හදවතේ සෞඛ්‍යයටත් බලපෑම් එල්ල කරන බව. නිසි ලෙස නින්දක් නොලැබූ දරුවන් වයසෙන් වැඩිහිටියන් බවට පත්වන විට අධික රුධිර පීඩනයට ගොදුරු වීමේ අවදානම වැඩිවන බව කියවෙනවා. ඒ වගේම දරුවා නිදා ගනිද්දී ගොරවනවා නම් වෛද්‍ය උපදෙස් පැතීමෙන් එම තත්වය සමනය කර ගැනීමට හැකි වේවි.

බර පාලනය
මීට කලකට පෙර ලංකාවේ තිබු ගැටලුවක් වන්නේ පෝෂණ ඌණතාව. නමුත් දැන් තත්වය වෙනස්! බොහෝ පවුල් වල දරුවන්ට එතරම් ගුණ නොවන, සීනි, මේදය සහ තවත් රස කාරක අඩංගු ආහාර ලබා දීමට පුරුදු වෙලා. ඒ සමගම නිසි ලෙස දරුවන් ව්‍යායාම වල නිරත වන්නේ නැහැ. ඉතින් ඔවුන් තමන්ගේ නින්දත් මනා ලෙස පවත්වා නොගත්තොත් ඉහත කී අයහපත් ආහාර පුරුදුත් සමග අධික ස්ථුලතාවය ඇතිවීමේ ප්‍රවණතාව තවත් ඉහල යනවා… එනිසා මනා ලෙස තුලනය වූ ආහාර වේලක්, සතියේ දින 3ක්වත් ක්‍රියාකාරී ව්‍යායාම සමග දිනපතා වයසට සුදුසු නින්දක් ලබා ගැනීමට ඉඩ සලස්වන්න.

මොළයේ වර්ධනය සහ බුද්ධිය...
දරුවාගේ අනාගත සාර්ථකත්වය තීරණය කරන සාධකයක් තමයි බුද්ධි වර්ධනය. ඉතින් මෙය අදාළ උනොත් ඔබ මුහුණ දෙන්නේ දරුණු නේද? වෛද්‍ය මතය වන්නේ නිසි ලෙස නින්දක් නොලැබූ දරුවෙකුගේ බුද්ධි මට්ටම මනා ලෙස නින්ද සහ අනෙකුත් සාධක ලබන දරුවෙකුට වඩා අඩු බවයි.

ලෙඩ රෝග වලට දක්වන ප්‍රතිශක්තිය
නිසි ලෙස නින්දක් ලබන විට ශරීරයේ පද්ධති මනා ලෙස ක්‍රියා කාරී වන බව අප පැහැදිලිවම දන්නවා. ඒ සමගම දරුවාගේ ප්‍රතිශක්තීකරණ පද්ධතියත් සුව නින්දත් සමග ශක්තිමත් වෙනවා. 

මේ සියල්ල සලකා බලන විට දරුවාගේ සුව නින්ද ඔහුගේ හෝ ඇයගේ එදිනෙදා ජීවිතයටත්, ඒ වගේම අනාගතයටත් ඉතා වැදගත්. වයස අවුරුදු 2 හෝ 3 පසු වන විට හැකි තරම් දුරට දරුවාගේ නින්ද එකම වෙලාවකට පුරුදු කරන්න. දිනපතා නින්දට පෙර තම සිරුර පිරිසුදු කර ගන්නා ආකාරයත්, තම ඇඳ සහ කාමරය පිළිවෙලකට තබා ගන්නා ආකාරයත් ගැන ආදර්ශයක් දෙමින් ක්‍රියා කරන්න. එවිට ටිකෙන් ටිකේ දරුවා එයට හුරු වන අතර, ඔවුන් සුව නින්දකටත් පෙළඹේවි.

 


(under the courtesy of mathuru.lk web)

More News »