Home / මවකගේ සිහිනය / වැලි කෙළිය දරුවාගේ මොළය වර්ධනයට ප්‍රබල පිටුවහලකි

වැලි කෙළිය දරුවාගේ මොළය වර්ධනයට ප්‍රබල පිටුවහලකි

2017-11-29 09:24:00       80
feature-top
කුඩා දරුවෝ වැලි සමඟ ක්‍රීඩා කිරීමට ඉතා ප්‍රිය කරති.  ලෙඩ රෝග හා අනතුරු වලින් ආරක්ෂා කර ගැනීම සඳහා ඊට ඉඩ නොදෙන දෙමාපියෝද සිටිති.

නමුත් වැලි සමඟ කාලය ගත කිරීමෙන් දරුවෝ විවිධ අත්දැකීම් ලබා ගන්නා බවද දෙමාපියන් අමතක නොකළ යුතුයි.

වැලි සමඟ ක්‍රීඩා කිරීමේ ආශාව දරුවකුට සහජයෙන්ම ඇතිවන්නකි. භාජන කීපයක් ලබා දුන්නොත් ඒවාට වැලි පුරවමින් එකකින් අනෙකට මාරු කරමින් දරුවන් මහත් ආශ්වාදයක් ලබන ආකාරය දැක ගත හැකිය.

මෙය දරුවකුගේ බුද්ධි වර්ධනයේ ආරම්භක පියවරක් වේ.

වැලි අතගෑමේ දී ඒවායේ සිනිදු - ගොරෝසු බව දරුවාට දැනේ. භාජන වලට වැලි පිරවීමේ දී පරිමාව පිළිබඳ අවබෝධය ලැබේ.

කෝම්පිට්ටු සෑදීම එකල දරුවන් අතර ඉතා ජනප්‍රිය විය. අද දරුවන්ට ඒ සඳහා ඇති ඉඩකඩ  ඉතා අවමය. කෝම්පිට්ටු සෑදීමේ දී භාවිතා කරන්නේ ද වැලි හා වතුරය.

ඇත්තෙන්ම මෙය දරුවාට ලබා දිය යුතු අවස්ථාවකි.

කෝම්පිට්ටු සාදා ඒවා ගණන් කළ හැකිය. අන් අය අතර බෙදා දීමෙන් බෙදා හදා ගැනීම පිළිබඳව දරුවාගේ මනැස සැකසේ. කෝම්පිට්ටුව නිසි ලෙස සකස් වීමට අවශ්‍ය වතුර ප්‍රමාණය තීරණය කරන්නේ අත්දැකීම් ලබා ගැනීමෙනි.

වැලිබත් පිසීමද ඉතා සාමූහික ක්‍රියාවකි. පිරිසක් සමඟ එකට එකතු වී කටයුතු කිරීම හා ඒ තුළින් වින්දනයක් ලබා ගැනීමට අවස්ථාව ලබා දීම ඉතා වැදගත්ය.

වැලි වල ලිවීම, ඇඳීම යනාදිය අකුරු ලිවීම සඳහා මූලික පියවර වේ.

අකුරක හැඩය සිඟිති මොළයට කා වැදීමට වැලි වැනි රළු මතුපිටක් මත ලිවීම ඉතා සුදුසු ‍බව මනෝ විද්‍යාඥයන්ගේ ද මතයයි.

වැලි ඇල්ලීමෙන් දරුවා රෝගී වීම වලක්වා ගැනීමට නම් පිරිසිදු වැලි භාජනයකට දමා සූදානම් කර ගත හැකිය. ක්‍රීඩා හෝ ක්‍රියාකාරකම් කිරීමෙන් අනතුරුව එය නැවත භාජනයටම දමා එම ස්ථානයද පිරිසිදු කළ යුතු අතර දරුවාද හොඳින් පිරිසිදු කර ගත හැකිය.


උපුටා ගැනීම ලක්බිම පුවත් පත ඇසුරෙනි

More News »