Home / මවකගේ සිහිනය / ළමා කාලයේ තරබාරු බව

ළමා කාලයේ තරබාරු බව

2017-12-06 09:34:00       59
feature-top
තරබාරු බව යනු උසට සරිලන ප්‍රමාණයට වඩා අධික බරක් තිබීමයි. ශරීර ස්කන්ධ දර්ශකය අනුව ඔබට ඔබේ දරුවාගේ සිරුර සාමාන්‍ය ද, අධි බර ද හෝ තරබාරු ද යන්න නිර්ණය කල හැකියි. ශරීර ස්කන්ධ දර්ශකය ගනණය කරන්නේ මෙසේයි. මුලින් ම ඔබේ දරුවාගේ උස මීටර් වලින් ද බර කිලෝ ග්‍රෑම් වලින් ද මැන ගන්න. බර, උසේ වර්ගයෙන් බෙදීමෙන් ශරීර ස්කන්ධ දර්ශක අගය ලබා ගන්න. වැඩිහිටියන් සඳහා සම්මත ස්ථාවර ශරීර ස්කන්ධ දර්ශක අගයයන් තිබෙනවා. ලමුන් වැඩෙන නිසා එලෙස සම්මත එක අගයක් දිය නොහැකියි. එනිසා 1994 දී ඇමෙරිකානු National Health And Nutrition Examination Survey මගින් ලමුන් සඳහා ශරීර ස්කන්ධ දර්ශක සටහනක් ඉදිරිපත් කලා. 2001 දී ශ්‍රී ලාංකික වෛද්‍යවරු දෙදෙනෙක් ලංකාවට අදාල ශරීර ස්කන්ධ දර්ශක සටහනක් ඉදිරිපත් කලා. එම සටහනේ වයස අනුව, සාමාන්‍ය බර, අධි බර හා තරබාරු බවට අදාල ශරීර ස්කන්ධ දර්ශක අගයයන් දැක්වෙනවා.

මෑත කාලීන වෛද්‍ය පර්යේෂණවලට අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් ලමුන්ගේන් 15% පමණ අධි බර හෝ තරබාරු බවින් පෙලෙනවා.

ලමා කාලයේ තරබාරු බවට හේතු

ඔබේ දරුවා අධිකව ආහාර ගන්නා විට අධික ශක්ති ප්‍රමාණයක් ශරීරයට ඇතුලු වෙනවා. එමෙන් ම ඔබේ දරුවා අඩුවෙන්  ශාරීරික ව්‍යායාම වල නිරත වන විට ශක්තිය වැය වන්නේ අඩුවෙන්. වැය වන ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ශක්තිය ශරීරයට ඇතුලු වු විට ශරීරයේ මේදය තැන්පත් වී තරබාරු වෙනවා.

Prader - Willi, Down සහ Turner යන සුලභ ජාන විකෘතීන් තරබාරු බවට හේතු වෙනවා. Prader - Willi රෝගය ඇති වන්නේ පියාගෙන් දරුවාට ආ 15 වන වර්ණ දේහයේ ජාන යම් හෙයකින් අඩු වීම නිසයි. Down රෝගයේ දී 21 වන වර්ණ දේහයේ වැඩිපුර පිටපතක් දරුවාගේ සෛල තුල තිබෙනවා. Turner රෝගයේ දී ගැහැණු දරුවාගේ සෛල වල ඇත්තේ X වර්ණ දේහයේ එක් පිටපතක් පමණයි. මෙම රෝග තුනේ දී ම තරබාරු බව ඇති කිරීමට හේතු වන්නේ අධිකව ශක්තිය සිරුරට ඇතුලු වීමට රුකුල් වීමයි.  

වර්ධක හෝමෝනය හා තයිරොයිඩ් හෝමෝනය අඩු වීම නිසා ශරීරයේ ශක්තිය වැය වීම අඩු වෙනවා. Leptin නම් හෝමොනය අඩු වීම, කෝටිසෝල් හෝමෝනය වැඩි වීම හා polycystic ovarian syndrome නිසා ශරීරයට ශක්තිය අධිකව ඇතුලු වීමක් සිදු වෙනවා.

විවිධ බෙහෙත් වර්ග නිසා බඩගින්න අධික වීම, ශක්තිය වැය වීමට බාධා පැමිණීම සිදු වෙනවා. 

පවුලේ සාමාජිකයින්ට තරබාරු බව තිබේ නම්, ඔබේ දරුවාට තරබාරු බව ඇති වීමේ ප්‍රවණතාවය වැඩියි.

ලමා කාලයේ තරබාරු බවේ ඵල විපාක

ලමා කාලයේ තරබාරු බව ඇති වුනොත් ඒ දරුවා ක්‍රීඩා කිරීමට හා මහන්සි වීමට අකැමැත්තක් දක්වන නිසා තව තවත් තරබාරු විය හැකියි. තරබාරු ලමුන්ට හුස්ම ගැනීමේ අපහසු කමක් ඇති වෙනවා. නින්දේ දී සුළු කාලයකට හුස්ම ගැනීම නැවතීමට පවා හැකියි. දියවැඩියාව, අධික රුධිර පීඩනය, කොලෙස්ටෙරෝල් අධික බව, හෘදයාබාධ, ආඝාත, ඩිම්බවල ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය අධිකව නිපදවීම, පිරිමි ලමුන්ගේ පියයුරු විශාල වීම හා අක්මාවේ තෙල් තැන්පත් වීම සිදු විය හැකියි. අධික බර නිසා ඇටකටු ඇද වීම හා හන්දි වේදනාවන් ඉතා සුලභයි.

ලමා කාලයේ තරබාරු බව වැලක්වීමේ ක්‍රියාමාර්ග හා ප්‍රථිකාර

මුලින් ම ඔබේ දරුවාට සත්‍ය වශයෙන් ම අවශ්‍ය වන ශක්ති ප්‍රමාණය ගනණය කල යුතුයි. ඒ සඳහා පෝෂණවේදියෙකුගේ උපදෙස් ලබා ගත හැකියි. බර අඩු කර ගැනීමට නම් ආහාර මගින් ගන්නා ශක්ති ප්‍රමාණය අඩු කර ශාරීරික ව්‍යායාම වැඩි කල යුතුයි.  වැය වන ශක්තිය, ලබා ගන්න ශක්තියට වඩා වැඩි වීමට වග බලා ගත යුතුයි. ආහාර පාලනයෙන් හා ව්‍යායාමවලින් බර අඩු කල නොහැකි අයට ලමා කාලයෙන් පසුව බර අඩු කිරීමේ සැත්කම් කල හැකියි.


(under the courtesy of mathuru.lk web)

More News »