Home / මවකගේ සිහිනය / දරුවාට 'වදෙන් පොරෙන්' කෑම කවන්න එපා!

දරුවාට 'වදෙන් පොරෙන්' කෑම කවන්න එපා!

2018-01-10 11:13:00       268
feature-top
"මේ ළමයාට කෑම කවන්න හරිම අමාරුයි; මොනවා කැව්වත් කටක් දෙකක් කාලා තූ ගාලා බිමට දානවා."

මෙවැනි වදන් වැඩිහිටියන් පවසනු අපි කොතෙකුත් අසා ඇත්තෙමු. කුඩා දරුවන් කෑම නොකන බවට වැඩිහිටියන් එලෙස නිගමන වලට පැමිණෙනුයේ කවර සාධකයක් මත පදනම්වදැයි ඔබ නිකමට හෝ සිතා බැලුවාද?

මෙලොව ජීවත් වන සෑම අයෙකුටම කිසියම් ආහාර රටාවක් තිබේ. ආහාර පාන ගන්නා වේලාව සහ ප්‍රමාණය ඒ ආහාර රටාවේ වැදගත්ම ලක්ෂණ දෙකකි. එහෙත් කුඩා දරුවන්  තුළ  මෙම ආහාර රටාව එක්වරම ස්ථාපිත නොවේ. දරුවා මව්කිරි වලින් ඝණ ආහාර වලට පුරුදු වන මුල් වකවානුව තුළ සිට කෙමෙන් මෙම ආහාර රටාව දරුවා තුළ ස්ථාපිත කළ යුතුය.

එමෙන්ම දරුවා කුසගින්නේ යැයි යන වැරදි උපකල්පනය මත දරුවාට නිතර දෙවේලේ ආහාර කැවීම සහ ප්‍රමාණය ඉක්මවා ආහාර කැවීම කෙසේවත් කළ යුත්තක් නොවේ. එමෙන්ම ආහාරයේ ඇති සමබරතාවය මිස එහි ප්‍රමාණය එතරම් වැදගත් සාධකයක් ‍නොවන බව අප සිහි තබා ගත යුතුය.

දරුවෝ ස්වභාවයෙන්ම පැණි රස වැනි දේ කෙරෙහි වැඩි ‍නැඹුරුවක් පළ කරති. එය පසුව ලුණු සහ තෙල් වැනි ආහාර වර්ග කෙරෙහිද දරුවා යොමු කරවන්නක් විය හැක. එහෙත් දරුවාගේ එම රුචිය මුල්කොට දරුවාට ලබා දෙන ආහාර, සීනි, ලුණු සහ තෙල් බහුල වීම දරුවා ජීවිතය පුරා විඳවන රෝගියෙකු බවට පත්කිරීමේ මූලික අඩිතාලමය. අපට කුසගුන්නක් දැනෙන විට ඒ පිළිබඳව සංඥා නිකුත් කරණුයේ මොළයෙනි. එහෙත් ඒ සඳහා දරුවාට එක්තරා අන්දමකින් කුසගින්න අත්දැකීමක් බවට පත් කළ යුතුය. මින් අදහස් කරන්නේ දරුවා කුසගින්නේ තැබීම නොවේ. දරුවාගේ මොළයේ ඇති කුසගින්න පිළිබඳ සංඥා පද්ධතිය ක්‍රියාත්මක වීමට ඉඩ සැලැස්වීමය. එසේ නොමැතිව නිරන්තරයෙන් දරුවාගේ කුස පිරී තිබිය යුතුයි යන වැරදි විශ්වාසය මුල් කොට මොන මොනවා හෝ දරුවාගේ 'කටේ ගැසීමට' යාමෙන් දරුවාගේ ආහාර රටාව ළමා කාලයේ දීම ව්‍යාකූල විය හැක. මෙවැනි නොවිධිමත් ක්‍රියා නිසා බිඳවැටෙන ආහාර රටාව නැවත ස්ථාපිත කිරීම අසීරුවන අතර ඇතැම් විට මුළු ජීවිත කාලය තුළම එය එලෙසම පැවතිය හැක.

එමෙන්ම කුඩා කාලයේ සමහර දරුවෝ විවිධ ආහාර වර්ග විවිධ රස වර්ග ප්‍රතික්ෂේප කරති. එම තත්ත්වය නව යොවුන් විය හරහා වැඩිහිටි බව දක්වාම පිවිසිය හොත් ඇතැම්විට සමහරුන් එම ආහාර දිවිහිමියෙන් ප්‍රතික්ෂේප කිරීමට පෙළඹෙනු ඇත. ඒ අනුව දරුවන්ට වදෙන් පොරෙන් කෑම කැවීම කෙසේවත් යහපත් දෙයක් නොවන බව ඉඳුරාම කිව යුතුය.


උපුටා ගැනීම ලක්බිම පුවත් පත ඇසුරෙනි

More News »