Home / මවකගේ සිහිනය / සිඟිති දරුවන්ට ළමා ගී හුරු කරමු

සිඟිති දරුවන්ට ළමා ගී හුරු කරමු

2018-01-17 01:33:00       932
feature-top
එදා දරුවෝ තනිවම මෙන්ම මිතුරු මිතුරියන් සමඟ එක්ව සිටින විටද ගීත ගායනා කරමින් වින්දනයක් ලැබූහ. එමෙන්ම රූප මාධ්‍ය නොතිබුණ අවදියේ ගුවන් විදුලියේ ළමා ගීත වැඩසටහන් වලට සවන් දීමද ඇතැම් දරුවන්ගේ විනෝදාංශයක් විය.

එම ගීත සඳහා පාදක වී තිබුණේ ළමා ලෝකයට අදාල පුද්ගලයන්, සතුන්, සිද්ධීන් හා වස්තූන්ය.

ඒවා ඉතාම සුන්දර විය. ඒවා ගයන විට දරුවන් තුළින් ද ඉස්මතු වූයේ ඉතාම සුන්දර සුරතල් බවකි. කෙටියෙන් පවසතොත් ළමයින්ගේ ළමා බව ඒ හරහා දැකගත හැකි විය.

නමුත් වර්තමානයේ බොහෝ දරුවෝ එවැනි ගීත ගායනා නොකරති. අද කුඩා දරුවන් සිටින මව්වරුන් අතරින් බොහෝ දෙනෙක්ද එවැනි ළමා ගීත නොදනිති. එමෙන්ම අද විවිධ මාධ්‍ය හා විවිධ වැඩසටහන් හරහා දරුවන් පොළඹවන්නේ වැඩිහිටි ගීත ගායනය වෙනුවෙන් බව පැවසීම ද සාවද්‍ය නොවේ. පෙර පාසල් වල පැවැත්වෙන විවිධ ප්‍රසංග හා විවිධ වැඩසටහන් වලදී ද ළමා ගීත භාවිතා කරන අවස්ථා ඉතා අවමය.

කෙසේ වෙතත් අතීතයේ සිටම තිබෙන ඒ සුන්දර සරල ළමා ගීත ඉදිරි පරම්පරාවල දරුවන්ටද ගායනා කිරීමට යෙමු කරන්නේ නම් එය ඉතා අගනා දෙයක් බව කිව හැකිය. ඒ සඳහා පළමුව මව්වරුන් එම ගීත පිළිබඳව දැනුවත් වීම අවශ්‍යය. මෙහි සඳහන් වන්නේ එවැනි ගීත කිහිපයකි.



සමනළයා


රන් වන් පාටයි සමනළයා
රෝස මලේ පැණි බීලා ගියා
ආයෙත් ඒවිද ඒ සමනළයා
මල්වල පැණි බොන්ටා
 
සමනලයෝ මේ හිමිදිරියේ
මල් පැණි බොන්නද ඔබ ආවේ
ඔබෙ ඔය ලස්සන අත්තටු දෙක මට
දිලා යනවාදෝ

 කූඹියෝ
 
පායනා කාලේදී
රෑ දවල් මහන්සි වී
කන්න දේ රැස් කරන් කූඹියෝ

සීතෙනුත් වැස්සෙනුත්
බේරිලා ඉන්නවා
ගේ සදන් එක්වෙලා කූඹියෝ
 
උන් ඉතා ඉක්මනින්
යන්නෙ මේ සන්තොසින්
කම්මැලී නෑ කිසිත් කූඹියෝ
 
දැන් අපත් ඒ වගේ
ඉන්නවා නම් හොදයි
කම්මැලී නෑ වගේ කූඹියෝ

ටිකිරි ලියා
 
ටිකිරි ටිකිරි ටිකිරි ලියා
කලෙත් අරන් ළිඳට ගියා
ළිඳ වටකර කබරගොයා
කකුල කාපී දියබරියා
 
දියබරියා පැනලා ගියා
කබරගොයා විස ඉරුවා
ටිකිරි ටිකිරි ටිකිරි ලියා
සිනා සිසී ගෙදර ගියා

පොල්පිති හරකා
 
පොල්පිති හරකට
පොල් කටු අං දෙක
දම්මම හරි නපුරුයි
 
පොල් කොහු ලනුවෙන්
පොල් ගහෙ බැඳලා
පොල් ඉරටෙන් තැලුවයි
 
මට දුක හිතිලා
පොල් පුන්නක්කුද
දිය කර කර දුන්නැයි
 
පොල් පිති හරහා
ඒ දෙස නොබලා
පොල් ගහ මුල ලැග්ගයි



උපුටා ගැනීම ලක්බිම පුවත් පත ඇසුරෙනි

More News »