Home / මවකගේ සිහිනය / කුඩා දරුවන්ට වැඩිපුරම විෂ ශරීරගත වන්නේ කොහොමද?

කුඩා දරුවන්ට වැඩිපුරම විෂ ශරීරගත වන්නේ කොහොමද?

2018-02-01 11:54:00       552
feature-top
විෂ ශරීරගතවීම් යනු මුළු ලෝකයටම බලපාන්නා වූ ප්‍රධාන සෞඛ්‍ය ගැටලුවකි. අද ලංකාවේද විෂ ශරීරගතවීම් නිසා රෝහල්ගත වන සංඛ්‍යාව බොහෝ ඉහළය. සමහරු විවිධ හිත් රිදවී නිසා වුවමනාවෙන්ම විෂ ද්‍රව්‍ය  ශරීරගත කරගන්න අතර තවත් අයගේ නොදැනුවත්වම විෂ ශරීරගත වන්නේ නිවසේ පවතින ඇතැම් විවිධ විෂ ද්‍රව්‍ය පිළිබඳ නොදැනුවත්කම නිසා ඒවා අපිළිවෙළට පරිහරණය කිරීම හේතුවෙනි. විශේෂයෙන්  විෂ ශරීරගත වන්නන් අතර කුඩා දරුවෝ සැලකිය යුතු ප්‍රමාණයක් සිටිති. ගෘහස්ථව සිදුවන විෂ ශරීරගතවීම් අවම කර ගැනීම සඳහා ගතයුතු පූර්ව ක්‍රියාමාර්ග කවරේදැයි දැනුවත්වීම ගෘහණියක ලෙස අතිශයින්ම වැදගත්ය. ගෘහස්ථව සිදුවන විෂ ශරීරගතවීම්වලට ප්‍රධාන ලෙස හේතුවන්නේ රසායනික ද්‍රව්‍ය, ඖෂධ වර්ග සහ ස්වභාවිකවම විෂ අඩංගු වන විවිධ ශාක වර්ගයන්ය. 

රසායනික ද්‍රව්‍ය විෂවීම් සම්බන්ධයෙන් කරන ලද අධ්‍යනයකින් ‍පොළ හෙළීම තිබෙන්නේ කුඩා දරුවන් වෙසෙන නිවෙස්වල මේ විෂ රසායනිකයන් අනාරක්ෂිතව ගබඩාකර තිබෙන බවය. ගොවිතැන් කටයුතු සඳහා භාවිත කරන වල් නාශක, ‍පොහොර වර්ග ගැන නොදැන කුඩා දරුවන් ඒවා අතපතගෑම හරහා වුවද විෂ ශරීරගත විය හැකිය. එසේම ඒවා පරිහරණයේදී පවා එහි ලබාදී තිබෙන උපදෙස් ඒ ආකාරයටම ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය තත්ත්වයකි. හැමවිටම මෙවැනි විෂද්‍රව්‍ය අඩංගු භාජනවල පියන් හොඳින් වසා තැබිය යුතුය. මේවා මිලදී ගැනීමේදී කුඩා දරුවන්ට විවෘත කළ නොහැකි ආකාරයේ ඇසුරුම් සහිත ඒවා මිලදී ගැනීමට උනන්දු වන්න. වල් නාශක වැනි විෂ සහිත දේ ඒවායේ ඇසුරුම් වලින් ගෙන වෙනත් බඳුන්වල ගබඩාකිරීමෙන් වළකින්න. එසේම ඒවා කිසිම විටෙක නිවසේ ආහාර ද්‍රව්‍ය සමග හෝ ඒ ආසන්නයේ ගබඩා කිරීමෙන් වළකින්න. නිවස තුළ හෝ පිටතදී වල් නාශක කලවම් කරන විට භාවිතා කරන විට කුඩා දරුවන් සුරතල් සතුන්, සෙල්ලම් බඩු එම ස්ථානයෙන් ඉවත් කිරීමට වගබලා ගන්න. වල් නාශකයේ ප්‍රතික්‍රියාකාරී කාලසීමාව තුළ ඒවා යෙදූ ස්ථානවලට දරුවන්ට සුරතල් සතුන්ට ඇතුල්වීමට ඉඩ නොදෙන්න. 

එසේම භූමිතෙල්, පැට්‍රල්, ගෘහස්ථ පවිත්‍රකාරක, සබන් දියර වර්ග, සබන් කුඩු වර්ග, ඇඟලුම් සුවද කාරක, නිය ආ‍ලේපන ඉවත් කිරීමට ගන්නා ද්‍රාවණ, ෂැම්පු වර්ග, මදුරු දඟර, කපුරු බෝල, වායු සුවඳකාරක වැනි නිවසේ එදිනෙදා භාවිත කරන විෂ රසායනිකයන් අඩංගු සියලු දෑ දරුවන්ට ළඟාවිය නොහැකි තැනක ගබඩා කර තැබිමෙන්ද විෂ ශරීර ගතවීම් අවම කරගත හැකිය. අද නිවෙස්වල භාවිත කරන බොහෝ ද්‍රව්‍ය වල විෂ අඩංගු වන බව වැඩිහිටියන්ට අවබෝධයක් නැත. එබැවින් ඒවා අනාරක්ෂිතව නිවසේ තැනින් තැන ගබඩා කර තැබිමෙන් දරුවන්ට ඒවා නිසා හානි සිදුවන්නට බොහෝ ඉඩකඩ තිබේ. විෂ ශරීරගතවී හේතුකරගෙන රෝහල් ගත වන බහුතරයක් දරුවන් මේ ආකාරයට කරදරයට පත්වූ අයයි.
 
එසේම වෛද්‍ය උපදෙස් වලින් තොරව බොහෝ අය භාවිත කරනු ලබන සරල වේදනානාශක, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාවට දෙනු ලබන සිරප් වර්ග, ප්‍රතිහිස්ටැමින් වර්ග හා විටමින් ආරක්ෂා සහිතව ගබඩා කර තැබිය යුතුමය. සෑම ඖෂධ වර්ගයකම අඩංගු වන්නේ කිසියම් රසායනික ද්‍රව්‍යකි. ඒවා අනවශ්‍ය ලෙස අධිමාත්‍රා ශරීරගතවීම්, කුඩා දරුවන්ට සේම වැඩිහිටියන්ටද මාරාන්තික ප්‍රතිඵල රැගෙන ඒමක් වීමට බොහෝ ඉඩකඩ ඇත. එබැවින් ඒවා මේසයක් මත මුළුතැන්ගෙයි, රාක්ක මත, ගබඩාකර තැබිමෙන් වැළකිය යුතුය. මේවා දරුවන්ට කිසිසේත්ම ළඟාවිය නොහැකි තැනක කබඩ් එකක ආරක්ෂා සහිතව තැබිමට වගබලා ගන්න. එසේම ඖෂධ ආහාර වර්ග ඇසුරුම් අසල ගබඩා කිරීමෙන්ද වළකින්න. 

විශේෂයෙන් වයස්ගත පුද්ගලයන් ඔවුන්ගේ ඖෂධ වර්ග ලබාගන්නා ආකාරය පිළිබඳව හා එක් ඖෂධ වර්ගයක් තවත් ඖෂධ  වර්ගයකින් වෙන්කර ගැනීමට හැකියාව තිබේදැයි විමසිලිමත්ව පරීක්ෂා කර බලන්න.


උපුටා ගැනීම ලක්බිම පුවත් පත ඇසුරෙනි

More News »