Home / මවකගේ සිහිනය / තයිරොක්සින් අඩු වුණොත් දරුවා මන්දබුද්ධික වේවි

තයිරොක්සින් අඩු වුණොත් දරුවා මන්දබුද්ධික වේවි

2018-02-02 11:17:00       216
feature-top
තයිරොයිඩ් ග්‍රන්ථියෙන් සිදු කරන්නේ කුමක්ද?

තයිරොයිඩ් ග්‍රන්ථිය යනු පුද්ගලයෙකුගේ ගෙල ඉදිරිපස පිහිටා ඇති කුඩා ග්‍රන්ථියකි. එය මඟින් තයිරොක්සින් නමැති හෝමෝනය නිෂ්පාදනය වේ. තයිරොක්සින් හෝමෝනය පුද්ගලයෙකුගේ ශරීරයේ සිදු වන බොහෝ ක්‍රියාවලීන් සඳහා අවශ්‍ය වේ.

දරුවකුගේ ශරීරයට තයිරොයිඩ් හෝමෝනය මඟින් සිදු කරන්නේ කුමක්ද?

තයිරොයිඩ් හෝමෝනය මුළු ජීවිත කාලය පුරාම ශරීරයට අවශ්‍ය හෝමෝනයකි.නමුත් දරුවෙකුගේ මුල් අවුරුදු 03 තුළ මෙය බෙහෙවින් වැදගත් වේ. මෙයට හේතුව ළදරුවකුගේ බුද්ධි වර්ධනයට තයිරොක්සින් අවශ්‍ය වන නිසාය. මීට අමතරව දරුවකුගේ ශරීර වර්ධනයට ද , වැඩිවියට පත් වීම නිසි ලෙස සිදු වීමට ද තයිරොයිඩ් හෝමෝනයේ ක්‍රියාකාරීත්වය නිසි පරිදි තිබිය යුතු ය.

තයිරොයිඩ් ග්‍රන්ථිය නිසි ලෙස ක්‍රියා නොකරන විට දරුවාට සිදු වන අතුරු ආබාධ තත්ත්වයන් මොනවාද?

අලුත බිහි වු දරුවකුගේ තයිරොයිඩ් හෝමෝනය නිසි පරිදි නිෂ්පාදනය නොවේ නම් එම දරුවන්ට කල්වේලා ඇතිව පිළියම් නොකළහොත් එම දරුවන් මන්දබුද්ධික තත්ත්වයට පත්වේ‍. තයිරොයිඩ් හෝමෝන ඌනතාවය ලෝකයේ වැළැක්විය හැකි මන්ද බුද්ධික තත්ත්වයට බලපාන ප්‍රධාන හේතුවකි.

පාසැල් වියේ දරුවන්ට ද තයිරොයිඩ් ග්‍රන්ථියේ අධි ක්‍රියාකාරීත්වය සහ අව ක්‍රියාකාරීත්ව තත්ත්වයන් ඇති විය හැකිය. එවිට ඔවුන්ගේ බුද්ධි මට්ටමට ගැටලුවක් නොවුණත් වෙනත් ශාරීරික හා මානසික ගැටලු ඇති විය හැකි ය.

දරුවකුගේ ශරීරය තුළ පවතින තයිරොක්සින් ප්‍රමාණය දැන ගන්නේ කෙළෙසද?

දරුවෙකුගේ තයිරොක්සින් ප්‍රමාණය දැන ගැනීම සඳහා සරළ ලේ පරීක්ෂණයක් සිදු කළ හැකි ය. මෙම පරීක්ෂණය උදෑසන 8 ට සිදු කිරීම වැදගත් වේ. මෙය බොහෝ දෙනෙකු නොදන්නා කරුණකි. මීට හේතුව මෙම හෝමෝනය දෛනිකව අඩු වැඩි වෙමින් පවතින හෝමෝනයක් නිසාවෙනි. එම නිසා මෙය මැනීමට සම්මත වේලාව උදෑසන 8 ට වේ.

තයිරොයිඩ් ග්‍රන්ථියේ අධි ක්‍රියාකාරීත්වය අධි ක්‍රියාකාරීත්වය සහ අව ක්‍රියාකාරීත්වය දරුවාට බලපාන ආකාරය වෙ වෙනම පැහැදිලි කරන්න.

තයිරොයිඩ් ග්‍රන්ථිය ශරීරයේ බොහෝ ක්‍රියාවලීන් සඳහා උපකාරී වේ. තයිරොක්සින් අව ස්‍රාවය සිදු වු විට මෙම ක්‍රියාවලි සියල්ල අඩපණ වේ. එවිට දරුවෙකුට නිදිමත ගතිය හා කම්මැලි ගතිය ඇති වේ.ආහාර ගැනීම වැඩි නොකළත් බර වැඩි වේ. වෙනදාට වඩා සීතල දැනෙන්නට පටන් ගනී. තව ද මළබද්ධය, හෘද ස්පන්ධන වේගය අඩු වීම,හම වියළීම, වැනි තත්ත්වයන් මෙන් ම උස යෑම ද අඩපණ විය හැකි ය.

තයිරොක්සින් හෝමෝනය අධි ස්‍රාවය වන විට මීට හාත්පසින්ම වෙනස් තත්ත්වයක් ඇති වේ.මෙම දරුවන්ට කෑම රුචිය වැඩි වේ.ඒත් ශරීරය කෙට්ටු වේ.ඔවුන්ට වැඩිපුර රස්නය දැනේ.වැඩිපුර දහඩිය දැමීම, ඇඟ ගැසීම ( trembling ), හෘද ස්පන්දනය , බඩ එළිය යෑම සහ ඇස් ඉදිරියට නෙරා ඒම ඇතිවිය හැකි ය. තව ද මෙම දරුවන්ට වෙනදාට වඩා අධි ක්‍රියාකාරීතත්ත්වයක් හා තරහ යාම ඇතිවිය හැකි ය.

තයිරොයිඩ් ග්‍රන්ථියේ අව ක්‍රියාකාරීත්වයක් යම් ගැබිණි මවකට තිබුණහොත් එමගින් බිහි වීමට සිටින දරුවාට සිදුවන්නේ කුමක්ද?

දරුවකු කුස පිළිසිඳ ගෙන මුල් මාස කිහිපය තුළ මවගෙන් ලැබෙන තයිරොක්සින් හෝමෝනය මත දරුවා යැපේ. එම නිසා මවගේ තයිරොක්සින් හෝමෝන ප්‍රමාණය අඩු නම් කුස තුළ සිටින දරුවාගේ බුද්ධි මට්ටම අඩු විය හැකි ය.

දරුවකු බලාපොරොත්තුවෙන් සිටින කාන්තාවක් තයිරොක්සින් හෝමෝන ඌනතාවයකින් පෙළේ නම් ඇය දරුවකු පිළිසිඳ ගැනීමට පෙර සිට ම නිසි වෛද්‍ය උපදෙස් ලබා ගෙන හෝමෝන තත්ත්වය සාමාන්‍ය මට්ටමට පත් කර ගත යුතු ය.

තව ද ගැබිණි සමයේ දී මාස් පතා තයිරොක්සින් හෝමෝනය නිරීක්ෂණය කරමින් වෛද්‍ය උපදෙස් පරිදි තයිරොක්සින් හෝමෝන ප්‍රමාණය නිසි ලෙස පාලනය කළ යුතු ය. මෙමගින් කුස තුළ වැඩෙන දරුවාගේ බුද්ධි වර්ධනය සාමාන්‍ය ලෙස පවත්වා ගත හැක. තව ද එම දරුවා බිහි වු විට දරුවාගේ තයිරොක්සින් මට්ටම මුල් සති 2 තුළ නිරීක්ෂණය කිරීම වැදගත් ය.

දරුවෙකුට තයිරොයිඩ් හෝමෝනයේ ක්‍රියාකාරීත්වයේ වෙනස්වීම් සිදු වුවහොත් සිදු කරන ප්‍රතිකාර විධි මොනවාද?

තයිරොක්සින් ඌනතාවයට ඉතා පහසුවෙන් ප්‍රතිකාර කළ හැකි ය. තයිරොක්සින් හෝමෝනය පෙති වශයෙන් භාවිත කිරීමේන් ශරීරයට අවශ්‍ය තයිරොක්සින් ප්‍රමාණය නිසියාකාරව පවත්වා ගත හැක.මෙහි දී තයිරොක්සින් පෙති උදෑසන හිස් බඩින් පාවිච්චි කිරීම වැදගත් වේ.

උපතින්ම තයිරොයිඩ් ග්‍රන්ථිය සම්පුර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් අහිමි වීම දරුවාගේ මන්ද මානසිකත්වයට හේතු වනවාද? මෙය වළක්වා ගැනීමට පුළුවන්ද?

ඔව්, මෙය කල් ඇතුව හඳුනා ගෙන ප්‍රතිකාර නොකළහොත් සඳහටම මන්ද බුද්ධික තත්ත්වයක් ඇති විය හැක. දරුවකු මවගේ කුස තුළ සිටින විට මවගේ තයිරොක්සින් හෝමෝනය මඟින් යම් ආරක්ෂාවක් ලබයි. නමුත් උපතින් පසු ශරීරයේ තයිරොක්සින් නිෂ්පාදනය නොවේ නම් දරුවාගේ මොළේ වර්ධනය අඩපණ වේ. අවාසනාවකට මෙන් තයිරොක්සින් ඌනතාවේ රෝගී ලක්ෂණ දරුවා තුළ පහළ වීමට කල් ගත වේ. මෙම රෝගී ලක්ෂණ සමහරක් නම් දරුවා වැඩිපුර නිදා ගැනීම, ඇඟ කහ ගැන්වීම,(prolonged Neonatal Jaundice.) ගොරෝසු කටහඩක් ඇති වීම,බඩ වියළීම සහ දරුවා අලස භාවයට පත් වීම සිදු වේ.

මේ ගැන සලකා ලෝකයේ බොහෝ රටවල් උපදින සෑම දරුවෙකුටම තයිරොයිඩ් ඌනතාවය සඳහා පරීක්ෂා කරනු ලබයි. ශ්‍රී ලංකාවේද දැන් මෙය දීප ව්‍යාප්තව සිදු වෙමින් පවතී. මෙහි දී බිහි වු දරුවාගේ යටි පතුළෙන් ලේ බිඳක් පරීක්ෂාවට ලක් කරනු ලැබේ. මෙහිදී තයිරොක්සින් ඌනතාවය පෙන්නුම් කෙරේ නම් එම දරුවා නැවත පරීක්ෂාවට සහ ප්‍රතිකාර සඳහා ළමා වෛද්‍යවරයෙකු කරා යොමු කරනු ලැබේ.

දරුවකු ඉපදී සති දෙකක් ඇතුළත තයිරොක්සින් ඖෂධය නිසි පරිදි ආරම්භ කළොත් එම දරුවාට සාමාන්‍ය බුද්ධි මට්ටමක් අත් කර ගත හැක. මෙම ප්‍රතිකර්මය බොහෝ විට මුළු ජීවිත කාලය තුළදීම දරුවාට ලබා දිය යුතු අතර අතුරු අබාධ අවම ඖෂධයක් වේ.

තයිරොයිඩ් ග්‍රන්ථියේ පවතින සංකූලතා තත්ත්වයන් ( අව ක්‍රියාකාරීත්වය සහ අධි ක්‍රියාකාරීත්වය ) ඇති වීමට බලපාන හේතු සාධක මොනවාද?

තයිරොයිඩ් අවස්‍රාවයට හේතු ප්‍රධාන වශයෙන් උප්පත්තියේදී ඇතිවන හේතු (Congenital )සහ පසුකාලීනව ඇතිවන හේතු (Acquired ) ලෙස වෙන් කළ හැකි ය. උප්පත්තියේ දී බොහෝ විට සිදු වන්නේ තයිරොයිඩ් ග්‍රන්ථිය සම්පුර්ණයෙන් නොපිහිටීම හෝ අර්ධ වශයෙන් පමණක් පිහිටීමයි. පසු කාලීනව සෑදෙන අවස්‍රාව තත්ත්වය බොහෝ විට ඇතිවන්නේ ශරීරයෙන්ම සෑදෙන ප්‍රතිදේහ(Autoimmunity ) මඟිනි.අධි ස්‍රාවය ( Hyperthyroidism )බොහෝ විට සිදු වන්නේ ද ප්‍රතිදේහ මඟිනි.

දරුවා සහ තයිරොයිඩ් හොමෝනය පිළිබඳව සමාජයේ පවතින මිත්‍යා මතවාද මොනවාද?

සායනයේ දී අප වෙත පැමිණෙන බොහෝ දෙමාව්පියෝ තයිරොක්සින් ඖෂධය ජීවිත කාලය පුරාම දරුවාට ලබා දීමේ දී අතුරු ආබාධ ඇති වේ යැයි බිය පළ කරති. නමුත් අප මෙහිදී කරන්නේ ශරීරයේ තිබිය යුතු දෙයක් ( ඌනතාවයක් ) යථා තත්ත්වයට පත් කිරීම පමණි. එම නිසා නියමිත මාත්‍රාව දුන් විට මෙහි බිය විය යුතු අතුරු ආබාධ නැත.

තයිරොයිඩ් හෝමෝනය නිසි පරිදි ක්‍රියාකාරී වීමට දරුවාට දිය යුතු ආහාරපාන මොනවාද?

තයිරොයිඩ් හෝමෝනය නිෂ්පාදනය සඳහා අයඩීන් සංඝටකය අවශ්‍ය වේ. එම නිසා අයඩීන් ඌනතාවය නිසා ද තයිරොයිඩ් ග්‍රන්ථියේ අවස්‍රාවයන් සිදු විය හැකි ය. නමුත් ලංකාවේ වසර ගණනාවක් පුරා අතිරේකයක් වශයෙන් වෙළෙඳපළේ ඇති ලුණුවලට අයඩීන් මිශ්‍ර කර ඇත. මෙම නිසා අයඩීන් ඌනතාවය නිසා ඇතිවන ගළගණ්ඩය සම්පුර්ණයෙන්ම අඩු වී ඇත.

තයිරොයිඩ් ග්‍රන්ථියේ පවතින සංකූලතාවලට නිසි පරිදි ප්‍රතිකාර සිදු නොකළහොත් දරුවාට අනාගතයේදී ඇතිවිය හැකි බලපෑම් මොනවාද?

අවුරුදු 03 ට අඩු දරුවකු නම් තයිරොක්සින් අවස්‍රාවය නිසා මන්ද බුද්ධික තත්ත්වය ඇති විය හැකි ය. වයසින් වැඩි දරුවන්ට නම් බර වැඩි වීම,උස අඩු වීම ( මිටි බව) , කම්මැලිකම නිසා අධ්‍යාපන කටයුතු අඩපණ වීම සිදු විය හැකි ය.

තයිරොයිඩ් අවස්‍රාවය නිසා ශරීරයේ කෙළෙස්ටරොල් මට්ටම ද වැඩි විය හැකි ය. තව ද නීරක්තිය ඇති වේ. තයිරොක්සින් අධි ස්‍රාවය නිසා දරුවා තුළ අධි ක්‍රියාකාරීත්වය වැනි මානසික තත්ත්වයන් ද ඇති විය හැකි ය. රෝගය නිසියාකාරව හඳුනා ගෙන ප්‍රතිකාර කිරීමේන් මෙම සංකූලතා අවම වේ.

දරුවන්ට තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රීතව පිළිකා ඇති වනවාද?

කලාතුරකින් දරුවන්ට තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකාවක් ඇති විය හැකි ය. මොවුන් බොහෝ විට වෛද්‍යවරයෙක්ට යොමු කෙරෙන්නේ බෙල්ල පිටිපස ගැටිත්තක් නිසා ය. ඔවුන්ගේ තයිරොයිඩ් හෝමෝන ප්‍රමාණය නිසියාකාරව තිබිය හැක. එම නිසා ඔවුන්ට ගැටිත්ත හැරෙන්න වෙනත් රෝගී ලක්ෂණ නොමැති විය හැකි ය.

තයිරොයිඩ් පිළිකාවල තවත් ලක්ෂණ ලෙස බෙල්ලේ කුද්දැටි ඇතිවීම දැක ගත හැක.


උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »