Home / මවකගේ සිහිනය / දරුවන් මානසික රෝගීන් වීමට වාචික හා ශාරීරික දඬුවම් සෘජුවම බලපානවා

දරුවන් මානසික රෝගීන් වීමට වාචික හා ශාරීරික දඬුවම් සෘජුවම බලපානවා

2018-02-09 01:14:00       58
feature-top
දරුවන් නිදහසේ හැදී වැඩෙන්න හරිම කැමැතියි. ඔළුවට බරක් සේ දැනෙන පාසැල් විෂය කටයුතුවලට වඩා දරුවන් කැමැති ක්‍රීඩා කරන්න, රූපවාහිනිය නරඹන්න, ආකර්ෂණීය විෂය බාහිර ‍පොත්පත් කියවන්නයි. ඒත් මාපියන් සිතන්නේ දරුවන් නිතරම පාසල් ‍පොත්පත්වල ඇලී ගැලී සිටිමින් විෂයන්ට අදාළ කරුණු කට පාඩම් කළයුතු බවයි. මේ ඝට්ටනය වර්තමාන මාපියන් හා දරුවන් අතර බහුලව දකින්න පුළුවන්. අධ්‍යාපනය තුළින් තමන්ට යා නොහැකි වූ දුරකට, තත්ත්වයකට තම දරුවා යොමුකිරීම මාපියන්ගේ පවිත්‍ර ප්‍රාර්ථනාවක් වුවද ළමා වයසේ සිතුම් පැතුම් පවා තේරුම් නොගෙන දරුවා රොබෝවෙකු මෙන් පාසල් වැඩ සඳහාම යොමුකිරීම එතරම් ගෝචර නොවන බව නූතන මනෝ වෛද්‍යවරුන් පවා පිළිගන්නා මතයක්. ඒත් මාපියන්ගෙන් බොහෝ පිරිසක් මේ තත්ත්වය තවමත් තේරුම් නොගෙන සිටින බවයි මනෝ වෛද්‍ය විශේෂඥවරුන්ගේ පවා අදහස වී තිබෙන්නේ. 

දරුවන් හා මාපියන් අතර පවතින මේ නොතේරුම්කමේ ගැටලුව බොහෝ විට අවසන් වෙන්නේ මාපියන් විසින් අකීකරු දරුවන් ලෙස එවැනි දරුවන් හඳුන්වාදෙමින්, මෙහිදී මවුපියන් මුලින්ම කරන්නේ ඔවුන් විවිධ අයුරින් වාචිකව වදහිංසාවලට ලක්කිරීමයි.  මෙය දරුවන් අයුතු ලෙස මානසිකව අපයෝජනයට ලක් කෙරෙන ප්‍රබලම තත්ත්වයක් බව මනෝ වෛද්‍යවරුන්ගේ අදහසයි. වාචිකව දරුවාට අපහාස මුඛයෙන් කතා කිරීමට අමතරව බොහෝ මාපියන් තම දරුවන්ට ශාරීරික වදහිංසා පැමිණවීමත් සිදුකරනවා. එලෙස කුඩා කාලයේදී ඉතාම සුළු වැරදිවලට හෝ වැරදි ලෙස වැඩිහිටියන්ට පෙනෙන දරුවන්ගේ ක්‍රියාකාරකම් වලට වැඩිහිටියන්ගේ ශාරීරික හිංසාවලට නිරතුරුව ලක්වන දරුවන් වැඩිහිටියන් බවට පත්වූ පසු විවිධ මානසික රෝගවලට ගොදුරුවන බව හා වැරදි පුරුදුවලට යොමුවන බව නවතම අධ්‍යයන මගින් හෙළිවී තිබෙනවා. මේ පිළිබඳව සොයාබැලීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ මිචිගන් සරසවියේ මහාචාර්ය ඇන්ඩෲ ගොර්ගන් (Andrew Gorgan) ඇතුළු පිරිසක් විසින් වයස අවුරුදු 19-27 අතර පුද්ගලයන් 8300ක් යොදාගනිමින් තොරතුරු හා දත්ත රැස්කිරීමක් පසුගියදා සිදුකළා. මෙහිදී මෙම පුද්ගලයන් ලිඛිත පරීක්ෂණයකට මෙන්ම වාචික පරීක්ෂාවකටද ලක්කෙරුණා. විවිධ උපක්‍රම අනුසාරයෙන් ඔවුන් විමසා බැලීමට ලක්කළ ප්‍රධානම සිදුවීම් වන්නේ ශාරීරික පහරදීම්වලටත්, අපහාස කිරීම් හා අගෞරව කිරීම්වලටත් ඔවුන් ළමා වයසේදී ලක්වූවාද යන්නයි. මෙම අධ්‍යයනයට ලක්වූ පිරිසෙන් 55ක්ම (පුද්ගලයින් 4565) ළමා අවධියේදී ශාරීරික මෙන්ම මානසික වදහිංසාවලට ලක්වූවන් බව එහිදී හෙළිදරව් වුණා. එම පිරිසෙන් ළමා අවදියේදී වැඩිම ශාරීරික හා මානසික වදහිංසාවන්ට ලක්වී තිබුණේ කාන්තාවන්ට වඩා පිරිමි පුද්ගලයන්. එලෙස අත්දැකීම් ලද අයගෙන් 85 (කාන්තා පිරිමි දෙපාර්ශ්වයෙන්ම) විශේෂ මානසික පීඩන තත්ත්වයන්ට සේම විවාහ ජීවිතයේදී පෞරුෂමය බිදවැටීම්වලටද ගොදුරුවී තිබුණා. මෙම තොරතුරු අපේ මාපියන්ට තම දරුවන් සම්බන්ධයෙන් ඉතාම වැදගත් හැරවුම් ලක්ෂ්‍යයක් වෙනවා නොඅනුමානය. 


උපුටා ගැනීම ලක්බිම පුවත් පත ඇසුරෙනි

More News »