Home / මවකගේ සිහිනය / සමහර බිලිඳුන් හේතුවක් නැතිව මහ හඩින් අඬන්නේ ඇයි?

සමහර බිලිඳුන් හේතුවක් නැතිව මහ හඩින් අඬන්නේ ඇයි?

2018-03-06 10:58:00       556
feature-top
කුඩා බිලිඳුන්ට වේදනාකාරී අත්දැකීමක් රැගෙන එන බඩේ  ඇතිවන වේදනාකාරී තත්ත්වයක් වන  'Imfamtile Colic' ගැන අද අපි සාකච්ඡා කරමු. දරුවාට දැනෙන අධික වේදනාව නිසා, සිදු කරනු ලබන දරුවාගේ නොනවත්වා හැඩීම, මවුපිය වැඩිහිටියන් අන්දමන්ද කරවන ආකාරයක් දැකිය හැක. මේ තත්ත්වය නිවැරදිව හඳුනානොගෙන, දරුවාට සිදුකරනු ලබන අනවශ්‍ය ඖෂධීය ප්‍රතිකාර නිසා සිදුවන හානි ගැනද කතා නොකරම බැරිය.

මේ වේදනාබර බඩේ රුදාව බලපාන්නේ මාස 1 1/2 පමණ සිට මාස 6 දක්වා වයසේ පසුවන බිලිඳු දරුවන්ටය. කලාතුරකින් වසරක් පමණ දක්වා වයස දරුවන්ද මෙයට ගොදුරු වන අවස්ථා ඇත. මේ වයසේ පසුවන බිලිඳුන්ගෙන් 10 - 40 පමණ ප්‍රතිශතයක් මෙයට ගොදුරු  වන බව සෞඛ්‍ය අංශ  පෙන්වා දෙයි. ගැහැනු පිරිමි භේදයකින් තොරව සෑම දරුවෙකුම පාහේ මෙම තත්ත්වයෙන් පීඩා විඳින බව පෙනේ.

සාමාන්‍යයෙන් දරුවාට මෙම බඩේ රුදාව හටගන්නේ සවස්  කාලයේ සහ රාත්‍රියේදීය. කිසිදු  සොයා ගත හැකි හේතුවක්  නොමැතිව හටගන්නා මෙම තත්ත්වයේදී බඩේ තද කිරීමක් වැනි දෙයක් සිදුවෙයි. සාමාන්‍යයෙන් දරුවා නොනවත්වාම පැය 2-3ක් පමණ ඉතා ඉහළ හඬකින් යටිගිරියෙන් කෑ ගසමින්   හඬයි. අත්පා ගසමින් කෑ ගසමින් මුහුණ රතු කරගෙන  කරන මේ අමුතු හැඩීම මුලු ගෙදරම අය කළබල කරන්නට සමත් වනු ඇත. සමහරුන් මේ සඳහා විවිධ හේතු ඉදිරිපත් කරන ආකාරය පෙනේ.
 
* දරුවාට බඩගිනි වෙලා ඇති
* දරුවාට කිරි අජීර්ණයක් වෙන්න ඕනේ'
* සමහර විට තනිකම් දෝෂයක් වගේ දෙයක්
* කවුරුහරි බලාගෙන ඉන්නකොට කිරි දීලා වෙන්න ඇති
 
මේ නිසාම දරුවාට විවිධ දේවල් පෙවීමට, යාග, හෝම ප්‍රතිකාර්ම කිරීමට පෙළෙඹෙන අවස්ථා ඇත. නමුත් මේ බඩේ වේදනාවට කිසදු හේතුවක් නොමැත. දරුවන් සාමාන්‍යයෙන් හඬන මලබද්ධය, උගුරය    එන ගතිය, කිරි අසාත්මිකතා, ගුදමාර්ගයේ ඇතිවන පැලුම්, පිටිකිරිවලට ඇතිවන අසාත්මිකතා වැනි කිසිදු හේතුවකින් තොරව දරුවෙකු  හඬන්නේ නම් ඒ මේ හේතුව වන්නට බොහෝ ඉඩකඩ තිබේ. එසේම මුලින්ම දරුවා හඬන්නේ සමේ ආසාදනයක්,  නිසා ද ඩයපර්ස් වැනි දේවල් ඇඳ සිටීමෙන් ඇතිවන සමේ රතුවීම්, දැවිලි ගති වැනි දෙයක් නිසාද, මුත්‍රා, මළපහ සාමාන්‍ය ලෙස පිටවනවාද වැනි හේතු ඇතිදැයි සොයා   බැලිය  යුතුය.  ඒ කිසිදු හේතුවක් නොමැතිනම් දරුවා  හඬන හේතුව මෙය විය හැකිය. එසේම පුරුද්දක් ලෙස නිතර  නොහඩන දරුවෙකු සාමාන්‍යයෙන් හොඳින් සිට හිටිහැටියේම හැඩීමට පටන් ගන්නා හේතුව මේ විය හැකිය. 

දරුවෙකු මේ ලෙස හඬනවිට පවු‍ලේ අය බියවී දරුවාට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම නිසා අනවශ්‍ය ඖෂධ දරුවාගේ ශරීරගත වෙයි. එසේම දරුවාගේ හැඩීම නිසා මවුපියන් එකිනෙකාට දොස් පවරා ගනිමින් සමගිය නැති කර ගන්නා අවස්ථාද තිබේ. දරුවාගේ තදබල හැඩීම නිසාම  නළවා ගැනීමට  ඉතාම තදින් සෙලවීම ඉතාම  අහිතකර භයානක ප්‍රතිඵල අත්කර දිය හැකි තත්ත්වයකි 'Shaken Bady Syndrome' වැනි දරුවාගේ මරණයට පවා හේතුවිය හැකි අහිතකර අවාසනාවන්ත තත්ත්වයක් එමගිින් උදාවිය හැකිය. එබැවින් මෙවැනිඅවස්ථාවක කළ යුත්තේ දරුවා  පලපුරුදු ළමා රෝග වෛද්‍යවරයෙකුට පෙන්වා උපදෙස් ගැනීමය. එසේම දරුවා නළවන විටද ඉතාම මෘදුව සෙමින් සොලවමින්  එය කළ යුතුය. වැඩිහිටින් තරහින් වේගයෙන්, කෑ කෝ ගසමින් දරුවා නළවන්නට කරන උත්සාහයන් දරුවාට  තවත් වදයක් විය හැකිය. එසේම හැඩීම  තවත් වැඩිවිය හැකිය.  එබැවින් තත්ත්වය නිවැරදිව තේරුම් ගෙන කටයුතු කිරීම අතිශයින් වැදගත්ය. බිලිඳු වියේ පසුවන දරුවන්ගේ මේ හේතුවක් නොමැතිව හටගන්නා බඩේ රුදාව, නිවැරදිව තේරුම් නොගෙන දරුවන් විවිධ එක්ස් කිරණ පරීක්ෂාවන්ට පවා ලක්කරන අවස්ථා ඇත. ඒවා දරුවාට ඔරොත්තු නොදෙන අනවශ්‍ය දේවල්ය.
වෛද්‍ය  උපදෙස්වලින් පසුව දරුවා හොඳින්  කකුල් නවා ඔතා පහසුවෙන් තබන්න. හැකි තරම්  දරුවාට මෘදුව ආදරෙන් කතා කරන්න. මවුකිරි ලබාදෙන්න. හොඳින් වාත්‍රාශය ලැබෙන ආකාරයට වටපිටාව සකසන්න.


උපුටා ගැනීම ලක්බිම පුවත් පත ඇසුරෙනි

More News »