Home / මවකගේ සිහිනය / ගර්භණී සමයේ අධික රුධිර පීඩනය

ගර්භණී සමයේ අධික රුධිර පීඩනය

2018-03-15 02:09:00       558
feature-top
අධික රුධිර පීඩනය වයස්ගත අයට පමණක් සීමා වූ අසනීපයක් නොවෙයි. ගර්භණී සමයේ දීත් අධික රුධිර පීඩනය ඇතිවිය හැකියි. ගර්භණී මව් වරුන්ගෙන් 5-6% පමණ ප්‍රමාණයකට ඇති විය හැකි මෙම තත්වය, රුධිර පීඩනයේ සුළු වැඩිවීමක සිට අපස්මාරය (convulsions) හා HELLP syndrome වැනි භයානක තත්වයන් දක්වා පැතිරී තිබෙනවා. අධික රුධිර පීඩනයේ භයානක සංකූලතාවල  දී ගර්භණීභාවය ඉවත් කිරීමට පවා සිදු විය හැකියි.

ගර්භණී සමයේ අධික රුධිර පීඩනය යනු කුමක්ද?
අධික රුධිර පීඩනය යනු 140/90 mmHg ට වඩා වැඩි රුධිර පීඩනයක් අවම වශයෙන් පැය දෙකකට වඩා ඈත අවස්ථා දෙකක දී වාර්ථා වීමයි.

ගර්භණී සමයේ අධික රුධිර පීඩනය ඇතිවීමට අවදානම් සාධක මොනවාද?
මවගේ වයස 35 ට වැඩි වීම, 20 ට අඩු වීම, ශරීර ස්කන්ධ දර්ශකය 30 ට වඩා වැඩි වීම, අධික රුධිර පීඩනය ඇති ලඟ ලේ නෑයෙකු සිටීම හා කලින් ගර්භණී කාලයක දී අධික රුධිර පීඩනය තිබීම අවදානම් සාධක ලෙස ගත හැකියි.  

ගර්භණී සමයේ අධික රුධිර පීඩනය ඇතිවන්නේ කෙසේද?
ශුක්‍රාණුවකින් ඩිම්බය සංසේචනය වූ පසු සෑදෙන යුක්තාණුක්ව බෙදෙමින් වර්ධනය වෙමින් ගර්භාශය වෙතට පැමිනෙණවා. එසේ වර්ධනය වන විට ප්‍රධාන කොටස් දෙකක් ලෙසයි වර්ධනය වන්නේ. එක් කොටසකින් දරුවා ද අනෙකෙන් වැදෑමහ ද හට ගන්නවා. වැදෑමහ වර්ධනය වන විට එය ගර්භාශයේ බිත්තිය තුලට කාවදිමින් යනවා. වැදෑමහේ සෛල ගර්භාශයේ බිත්තියේ රුධිර වාහිනී තුලට කාවදිනවා.මෙම කාවැදීම නිසයාකාරව සිදු නොවුනහොත් ගර්භාශ බිත්තියේ සර්පිලාකාර ධමනි වල ප්‍රතිරෝධය වැඩි වෙනවා. එම ප්‍රතිරෝධය අභිබවා වැදෑමහට රුධිරය සැපයීමට හදවතින් වැඩි පීඩනයකින් රුධිරය පොම්ප කරනවා. ADMA 13 (නයිට්‍රික් ඔක්සයිඩ් නම් වූ රුධිර වාහිනී විස්තාරනය කරන රසායනිකය නිපදවන එන්සයිමයක් ක්‍රියා විරහිත කරන ස‍යෝගයක්), Angiotensin II හා Endoglin යන රසායනික සංවේදක වලට එරෙහි ප්‍රතිදේහ නිපදවීම වැනි නොයෙක් ක්‍රියාවලීන් ගර්භණී සමයේ අධික රුධිර පීඩනය ඇති වීමට හේතුවෙන බව සොයා ගෙන තිබෙනවා.

ගර්භණී සමයේ අධික රුධිර පීඩනය ඇතිවීමේ සංකූලතා මොනවාද?
ගර්භණී සමයේ අධික රුධිර පීඩනය නිසා මවට ඇතිවන සංකූලතා ලෙස, Pre-Eclampsia, Eclampsia හා HELLP Syndrome දැක්විය හැකියි. Pre-Eclampsia යනු, අධික රුධිර පීඩනය නිසා මුත්‍රා සමඟ ප්‍රෝටීන පිටවීමයි. Eclampsia යනු අධික රුධිර පීඩනය, මුත්‍රා සමඟ ප්‍රෝටීන පිටවීම හා අපස්මාර තත්වයක් (convulsions) ඇති වීමයි. HELLP Syndrome යනු රතු රුධිරානු කැඩී බිඳී යාම, අක්මා එන්සයිම ප්‍රමාණය ඉහල යාම, රුධිර පට්ටිකා ප්‍රමාණය අඩුවීමයි.

ගර්භණී සමයේ මවට අධික රුධිර පීඩනය ඇතිවීම නිසා කුස තුල සිටින දරුවාගේ වර්ධනය අඩාල වීම හෝ කුස තුලදී ම දරුවා මිය යාම සිදු විය හැකියි.  

ගර්භණී සමයේ දී අධික රුධිර පීඩනය වැළඳුනහොත් කල යුත්තේ මොනවා ද?
අධික රුධිර පීඩනය නැති වෙනත් මවුවරුන්ට වඩා වැඩිපුර වතාවක් ඔබ පරීක්ෂා කිරීමට සායනයට ඔබ කැඳවනු ඇති. අතපසු නොකර මේ සායනවලට සහභාගි වන්න. ඔබගේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයා හමුවීමට යන අවස්ථා අතරතුර දී ඔබේ නිවස අසල සිටින වෛද්‍යවරයෙකු ගෙන් ඔබේ රුධිර පීඩනය දින දෙකකට වරක් හෝ පරීක්ෂා කරවා ගන්න. එම රුධිර පීඩනයන් වගුවක සටහන් කර ගතහොත්, එය ඔබේ රුධිර පීඩනය වෙනස් වෙන ආකාරය ගැන ඉතා පැහැදිලි අදහසක් ඔබෙ වෛද්‍යවරයාට ලබා ගැනීමට හැකි වෙනු ඇත.

Pre-eclampsia තත්වයේ දී ඇතිවන රෝග ලක්ෂණ ගැන අවබෝධයෙන් සිටින්න. ඔබට අධික හිස රදය, ඇස් ඉදිරිපිට එලි පාවෙන්නාක් සේ පෙනීම, ඇස් බොඳ වීම, හුස්ම ගැනීමේ අපහසුව, පපුවේ වේදනාව හා උදරයේ ඉහල දකුණු කෙලවර ප්‍රදේශයේ වේදනාව ඇත්නම් ඔබේ වෛද්‍යවරයා හමු වන්න. හදිසි අවස්ථාවක රෝහලට යාම සඳහා ප්‍රවාහන පහසුකම් සූදානම් කර තබා ගන්න. Full blood count, urine full report, uric acid, AST, ALT. LDH යන පරීක්ෂණ සති දෙකකට වරක් කරන්න. ඔබේ රුධිර පීඩනය 140/90 mmHg ට වඩා වැඩි නම් හෝ මුත්‍රා වල ප්‍රෝටීන් 2+ වලට වඩා වැඩි නම් හැකි ඉක්මනින් ඔබේ විශේෂඥ වෛද්‍යවරයා හමුවන්න. එවිට ඔබේ රුධිර පීඩනය වැඩි නම් ඔබට බෙහෙත් නියම කරනු ඇත. එම බෙහෙත් නොවරදවා ගන්න. ඔබේ ගර්භණී සමයේ අවසාන කාලයේ දී දරුවා දඟලන වාර ගණන ගැන අවධානයෙන් සිටින්න. දරුවා දඟලන වාර ගණන අඩු නම් හැකි ඉක්මනින් ලඟ ම ඇති රෝහලට යන්න. ඔබේ වෛද්‍යවරයා දෙන උපදෙස් පිලිපදින්න. විශේෂඥ වෛද්‍යවරු දෙදෙනෙකුගේ ප්‍රථිකාර සැලසුම් අතර වෙනස් කම් තිබිය හැකියි. එනිසා ඔබේ වෛද්‍යවරයා සමඟ ඔබටම ආවේණික වූ සැලසුම ගැන සාකච්ඡා කරන්න.


(under the courtesy of mathuru.lk web)

More News »