Home / මවකගේ සිහිනය / බබාගේ උදරාබාධවලට හේතු මෙන්න

බබාගේ උදරාබාධවලට හේතු මෙන්න

2018-03-23 01:01:00       700
feature-top
උදරාබාධ හෝ උදරයේ ඇතිවන කැක්කුම් දරුවන් නිතරම පාහේ මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නයකි. මෙහිදී දරුවන් පෙන්නුම් කරන ප්‍රධාන රෝග ලක්ෂණයන් වන්නේ වමනය, බඩපිපුම, බඩේ ඇතිවන අධික වේදනාව, බඩ බුරුලට යාම හෝ මල බද්ධය.

උදරයේ තදබලව ඇතිවන වේදනාවන් හේතුවෙන් කුඩා දරුවන් නොකඩවා හඬනු ඇත. ඒත් සමගම දරුවාගේ බඩ ඉදිමී ඇත්නම් හෝ නිතර නිතර දරුවා අඬන්නේ නම් එහිදී උදරයේ ඇති වන වේදනාවක් ලෙස අනුමාන කළ හැකිය.
ආහාර මාර්ගය තුළ ඇතිවන ඕනෑම ආසාදනයකදී බඩ බුරුලට යාම හා උදරයේ තදබල වේදනාවක් ඇතිවේ. මෙසේ විෂබිජ ආහාර මාර්ගයට ඇතුළු වන්නේ අප ගන්නා ආහාර මගිනි.

තවද දරුවාගේ ආමාශයේ ආම්ලික භාවය වැඩි වූ විට ගැස්ට්‍රයිටීස් වැනි රෝග තත්ත්වයක් ඇති වී ආමාශය ආශ්‍රිතව තුවාල ඇතිවේ. මෙහිදීද දරුවාට අධික වේදනාවක් දැනෙනු ඇත.

ආහාර නොදිරවන ස්වභාවයකදී වුවද උදාරාබාධ ලක්ෂණයන් පෙන්නුම් කරනු ලබයි.ආමාශය ආශ්‍රිතව ඇතිවන වෛරස් ආසාදනයකට පසුව දරුවාට කිරි ආහාර නොදිරවන ස්වභාවයක් හට ගනී. මේ හේතුව නිසාම කිරි උගුරට එන ස්වභාවයක් හෝ උදරය ඉදිමීම, මල බුරුලට යාම දක්නට ලැබේ.

යම් හේතුවකින් දරුවා කොළ පැහැයට පිත වමනය කරයි නම් එවිට වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගෙන යා යුතුය.
දරුවාගේ උදරයේ වේදනාවක් පෙන්නුම් කරන තවත් එක් අවස්ථාවක් වන්නේ උණ්ඩුකපුච්ච ආසාදනය නම් රෝගී තත්ත්වයයි. මෙම රෝග තත්ත්වය වැඩි වශයෙන් ඇති වන්නේ වයස අවුරුදු 10 ඉක්ම ගිය පසුවය.

මෙහිදී මුලින්ම පෙකණිය වටා ඇතිවන වේදනාව දකුණු පැත්තට විහිදේ. උදරය ඇල්ලීමට පවා දරුවා ඉඩ නොදේ.
පණු රෝගයන් නිසාද දරුවන්ට උදරයේ වට පණුවන් හා කොකු පණු ආසාදන නිසාද ආසාදනයන් ඇතිවේ. වටපණුවා උදරයේ ඇති කරන ආසාදනයන් හේතුවෙන් බඩ පිපීම, අජීර්ණය වැනි රෝග ලක්ෂණ ඇතිවේ.
තවද දරුවන්ට ඇතිවන මූත්‍රා ආශ්‍රිත ආබාධයන්ද ඇති වූ විටත් උදරයේ වේදනාවන් ඇතිවේ.

මේ වන විට දියවැඩියා රෝගයට අපගේ දරුවන් වේගයෙන් ගොදුරු වෙමින් පවතින්නේය. මේ හේතුවෙන් දියවැඩියාව උත්සන්න වූ විටදී ද උදරයේ තදබල වේදනාවක් ඇතිවේ.

දරුවාගේ මල පරික්ෂා කිරීමේදී එය තද කළු ස්වභාවයක් හෝ රතු පැහැයක් හෝ කොළ පැහැයෙන් යුක්ත නම් එය බැක්ටීරියා ආසාදනයක් හේතුවෙන් සිදු වන්නක් විය හැකිය.

දරුවාගේ මල ඉතාමත් දුගඳව විශාල වශයෙන් පිට වන්නේ නම් එය ආමාශයේ ආසාදනයක් හේතුවෙන් හට ගන්නා රෝග තත්ත්වයකි.

දරුවෙකුට උදරාබාධයක් ඇති වූ විට නිවසේදී කළ හැකි ප්‍රතිකාර ක්‍රම කීපයක් තිබේ. ඒවා නම් දරුවාට උණත් සමග මලපහ දියරමය වශයෙන් පිට වන්නේ නම් හෝ වමනය පිට වන්නේ නම් හා ඒවායේ දුර්ගන්ධයක් නොමැති නම් එය සරල උදරාබාධයක් විය හැකිය. මලපහ පිටවන විට දරුවන් විජලන තත්ත්වයට පත්වේ. එවිට ඔවුන්ට ජීවනී හා බැදි හාල් කැඳ දිය හැකිය.

තවද කෙසෙල් ගෙඩි, මීපැණි සමග ආහාරයට ගැනීමත් දෙහි හෝ දොඩම් යුෂ බිමට දීමත් සුදුසුය.
ඇපෙන්ඩිසයිටිස් රෝග නිසා උදරයේ ඇති වන වේදනාව සමනය කිරිමට නම් වහාම වෛද්‍ය උපදෙස් පැතිය යුතුය.


උපුටා ගැනීම රිවිර පුවත්පත ඇසුරෙනි

More News »