Home / මවකගේ සිහිනය / දරුවන් අධික්‍රියාකාරී වීමට හේතු තිබේ

දරුවන් අධික්‍රියාකාරී වීමට හේතු තිබේ

2018-04-18 10:23:00       620
feature-top
අපි මෙහි දරුවාට සසිඳු යෑයි කියමු. වයස අවුරුදු හතක්‌ පමණ වන මෙම දරුවා වෛද්‍යවරයා වෙත යොමුකර තිබුණේ වසර දෙකක පමණ සිට චර්යාවේ යම් කිසි අධික්‍රියාකාරී තත්ත්වයක්‌ පෙන්වන්නට වූ නිසාවෙයි. සසිඳු පවුලේ වැඩිමහල් දරුවා වූ අතර සසිඳුගේ අම්මාට දෙවන දරු උපත සිදුවූයේ සසිදුට වයස අවුරුදු හතරේදීය. දෙවන දරුවා පවුලට එකතු වීමත් සමග මෙම තත්ත්වය ඇති වුවාද යන්න පිළිබඳ සසිඳුගේ මාපියන්ට එතරම් වැටහීමක්‌ තිබුණේ නැත.
 
 මෙම තත්ත්වය ඇතිවීමත් සමග සසිඳු වෛද්‍යවරුන් කිහිපදෙනකු යටතේ විවිධ ඖෂධ භාවිතකර තිබුණද ත්ත්වය එලෙසම තිබිණි. එහෙත් තම දරුවා පාසල් වැඩකටයුතුවලට අදිමදි කිරීමත් සමග නැවතත් මවුපියන් වෛද්‍ය උපදෙස්‌ වෙනුවෙන් සැලකිලිමත් වී තිබුණේ අධ්‍යාපන කටයුතු අඩාලකර ගනීවි යෑයි සිත්වල තිබුණු බිය නිසාමය.
 
 සසිදුගේ ක්‍රියාකාරකම් අතර අපිළවෙල ප්‍රධානව දක්‌නට ලැබුණු අතර පොත්පත්වල කොළ ඉරා දැමුවේය. චිත්‍රයක්‌ ඇඳීමේදීත් එහි පාට යෙදීමේදී බොහෝ අපිළිවෙළක්‌ වූවේය. එහෙත් ඔහුගේ සෑම චිත්‍රයකම එක්‌ සුවිශේෂි වූ ලක්‍ෂණයක්‌ පැහැදිලිව හඳුනාගැනීමට තිබුණේය. එනම් එම චිත්‍රවල සසිඳු තම රූපය හැඩවැඩ දමා චිත්‍රයට නගා තිබුණද මල්ලිගේ රූපය චිත්‍රයට නගා තිබුණේ විකෘති කරමින්ය.
 
 එය සිතා මතා කළ දෙයක්‌ද නැතිනම් ඔහුගේ යටි සිත තුළ තිබුණු අපේක්‍ෂා භංගත්වය, දුක, කනගාටුව, කනස්‌සල්ල, නිරායාසයෙන් මෙහිදී නිරූපණය වී තිබුණේද යන්න පිළිබඳ ඒ වනවිටත් තහවුරුකර ගෙන තිබුණේ නැත.
 
 කෙසේ වෙතත් වෛද්‍ය ප්‍රතිකාර සමග දිගින් දිගටම දරුවාට උපදේශනය ලබාදී ඇත්තේ චිත්‍රය තුළින් ප්‍රතිකාරය සඳහා කරුණු සොයා ගැනීමටය.
 
 සසිඳු චිත්‍ර අඳින්නට බොහෝම දක්‍ෂ දරුවෙකි. ඔහුට පවුලේ අය චිත්‍රයට නැගීමට උපදෙස්‌ ලබා දීමේදී සසිඳු නිතරම චිත්‍රයට නැගුවේ සසිඳු සහ මව සමීපව සිටින ආකාරයටය. මල්ලි අදින්නේ ටිකක්‌ ඈතින් අවලස්‌සනටය. මල්ලීගේ මුහුණට සතුන්ගේ අඟ පසග එකතු කිරීමටද සසිදු විශාල උත්සහයක්‌ දරන්නේය. තවද සසිදුගේ තාත්තාව චිත්‍රයේ ඈතම කොණක අඳින්නේය
 
 මෙම කරුණු කාරණා අනුව පවුලට දෙවැනි දරුවකු ලැබීමේදී මාපියන් නොදැනුවත්වම ඔවුන්ගේ ආදරය, සැලකිල්ල දෙවැනි දරුවා වෙත යොමු වීම පිළිබඳ මාපියන් වැඩි සැලකිල්ලක්‌ නොදක්‌වන කතාව ඉස්‌මතු වූ බවක්‌ පෙනෙන්නට ඇත.
 
 නමුත් ළමා මානසික සෞඛ්‍යයේදී මෙය අතිශය වැදගත් කාරණාවක්‌ වනු ඇත. මෙවැනි අවස්‌ථාවක දෙවැනි දරුවෙකු පවුලකට එකතු වීමේදී දැනෙන කාන්සිය, ආතතිය විටෙක අනාරක්‍ෂිත බව සහ චිත්තාවේගික තත්ත්වයන් දරුවකුගේ මානසික සෞඛ්‍යට එතරම් හිතකර නොවන බව වැඩිහිටියන් වශයෙන් අප දත යුතුය.
 
 මෙහිදී සසිඳුට ඒත්තු ගන්වන්නට උත්සාහ කළේ මව සහ පියා මල්ලීට මෙන්ම සසිඳුටත් ආදරේ බවකි. එය ඒත්තු ගැන්වීමට සසිඳුගේ කුඩා කළ ඡායාරූප කිහිපයක්‌ උපයෝගි කර ගනු ලැබුවේය. මව සහ පියා සසිඳු තුරුළු කරගනිමින් සිටින ඡායාරූප ඒa අතර ප්‍රධාන විය.
 
 එවැනි දේ තුළින් සසිදුගේ අමිහිරි මතකයන් ගොඩගැසී තිබු අතීත මතකයට නව පණක්‌ දෙන්නට හැකියාව ලැබුණි. එහි ප්‍රතිඵල නිවැරදිදැයි බලන්නට නැවතත් චිත්‍රයම උපයෝගි කර ගන්නා අතර එහිදී සසිඳු ඔහුගේ පියා මව සහ මල්ලි ඔහු සමඟ අසලින් ඉඳින්නටත්, මල්ලිගේ මුහුණ විකෘති නොකරන්නටත් වගබලා ගෙන තිබිණි.
 
 මෙයින් පසු පන්තියේ ගුරුතුමිය පවා පවසන්නට වූයේ සසිඳු දැන් පන්තියේ එක තැනක වාඩිවෙලා පාඩුවේ වැඩටික කරන බවයි.
 
 සසිඳුගේ සිදුවීම තුළ, සසිදුට තවත් බලපෑමක්‌ වී තිබුණේ සසිඳුගේ මල්ලි ලැබීමත් සමග පියාට ලැබුණු ශිෂ්‍යත්වයක්‌ නිHdවෙන් පියා විදේශගත වීමයි. මෙම සිද්ධිය නිසාවෙන් සසිඳුගේ මනස තුළ ජනිත වූවා යෑයි සිතිය හැකි කාංසාව සසිඳු පිටතට ප්‍රකාශකර සිටියේ චිත්‍රයේ තාත්තාව අයිනේම කොණකින් චිත්‍රයට නැඟීම තුළින් බව පෙනේ. කාලය ගතවීමේදී තාත්තාගේ ශිෂ්‍යත්වයට හිමි වී තිබු කාලය නිමා වීමෙන් තාත්තා නිවෙසට පැමිණීම සසිඳුගේ සතුටට ප්‍රබල කාරණාවක්‌ වූ බව පෙණුනි.
 
 සසිඳු දැන් අධ්‍යාපනික වශයෙන් සියයට සීයක්‌ම සාමාන්‍ය දරුවෙකි. සාමාන්‍ය ජීවිතයේදී කලබලකාරී නොවූ දරුවෙකි.
 
 මෙයින් අප කියන්නට උත්සාහ කළේ විවිධ පාරිසරික ගැටලු නිසාවෙන් මාතෘ දුරස්‌ථකරණය, පීතෘ දුරස්‌ථකරණය සිබි ගැටුම (පවුලකට අලුත් දරුවෙක්‌ ඉපදීම) ආර්ථික හා සමාජීය ගැටලු යන මේවා දරුවන්ගේ චර්යාත්මක වෙනස්‌වීම් ඇතිවීමට බලපාන සාධක පිළිබඳ අප අවධානයෙන් සිටිය යුතු බවයි.
 
 ඇතැම්විට දරුවන් මෙවැනි හැසිරීම් රටා පෙන්වන්නේ තමාගේ මනසට දැනෙන මානසික හුදකලා බව, අනාරක්‍ෂිත බව නැතිකර ගැනීම සඳහා තම මාපියන්ගෙන් අමතර ආකර්ෂණයක්‌ බලාපොරොත්තුවෙති.
 
 නමුත් මේ හැසිරීම් රටාවන් දරුවන් නොදැනීම ඔවුන්ගේ භුක්‌තියට සවිවන්නාක්‌ මෙන් දිගින් දිගටම ඔවුන්ගේ චර්යාවෙන් පිළිඹිබු වීමට පටන් ගැනීම ගැටලුකාරී තත්ත්වයන් වන අවස්‌ථා තිබේ.
 
 සසිඳුගේ කතාවේදීද හොඳින් කාලය ගත කළ සසිඳු කලිසමේ මුත්‍රා කිරීමට පටන් ගැනීමද එවන් වූ අවස්‌ථාවකට උදාහරණයකි.
 
 ඉහත අප සාකච්ඡා කළේ එක්‌ අවස්‌ථාවක්‌ පිළිබඳ වුවත් වර්තමානයේ අප බරපතළ වශයෙන් කතා බහට ලක්‌ කරන කුඩා දරුවන්ට වැළඳෙන විවිධ රෝග තත්ත්වයන් නිසාත් මෙවැනි අධි ක්‍රියාකාරී අනවධාන ක්‍රියාකාරිත්වයන් දරුවන් තුළ ඇතිවීමේ හැකියාව තිබේ. බටහිර වෛද්‍ය විද්‍යාවේ නිරන්තරයෙන් කතා කරන ඔටිසම් වැනි රෝග තත්ත්වයන්, ඇස්‌පර්ජර්ස්‌ වැනි රෝග තත්ත්වයන් අද ළමා ජනගහනය තුළ පැතිරී යන රෝග තත්ත්වයන්ය. මේවා චර්යාත්මක ආබාධ දරුවා තුළින් පිළිබිඹු වන්නාවූ රෝගී තත්ත්වයන්ය.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »