Home / මවකගේ සිහිනය / කුඩා දරුවන්ගේ දත් දිරායාම හඳුනාගත හැකි මූලික ලක්ෂණ

කුඩා දරුවන්ගේ දත් දිරායාම හඳුනාගත හැකි මූලික ලක්ෂණ

2018-06-04 11:46:00       707
feature-top
අපේ රටේ පාසල් දරුවන් අතර තිබෙන සුලබම රෝගී තත්ත්වය කුමක්දැයි කෙනෙකු ප්‍රශ්න කළහොත් ඔබ ලබාදෙන පිළිතුර කුමක්ද? රක්තහීනතාවය, මන්ද‍පෝෂණය  වැනි නානාවිධ පිළිතුරු අතරේ නිවැරදිම පිළිතුර වන්නේ දත් හා සම්බන්ධ රෝගී තත්ත්වයන් යන්නය. වයස් භේදයකින් තොරව අපේ පාසල් දරුවන් සියලු දෙනා අතර පවතින සුලබතම රෝගී තත්ත්වය දත් දිරායාම හෙවත් දන්ත ව්‍යසනයයි. මෑතකදී සිදුකරන ලද සමීක්ෂණයකට අනුව වයස අවුරුදු 12 වයස් කාණ්ඩයේ පාසල් දරුවන් 10 දෙනෙකු අතරින් 4 දෙනෙකුම දත් දිරායාමට ගොදුරුව සිටී. එනම් මේ වයස් කාණ්ඩයේ පාසල් දරුවෝ 40ක්ම දත් දිරායාම නිසා පීඩා විඳිති.

දත් දිරායාමෙන් මුඛයේ, දත්වල ඇතිවන අධික වේදනාකාරී බව, එම දරුවන්ගේ ඉගෙනීමේ කටයුතුවලට ජු ලෙසම, ඉතාම අහිතකර බලපෑම් එල්ල කරයි. මෙය කිසිසේත්ම සුළුවෙන් තැකිය යුතු කරුණක් නොවේ. මේ නිසාම මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව ඒ ඒ පාසල් අයත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හරහා පාසල් දරුවන් සම්පූර්ණ වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලබයි. 1, 4 සහ 7 යන ශ්‍රේණි වලදී මේ පරීක්ෂණ සිදු කෙරේ. මෙම ශ්‍රේණිවල පසුවන කාලය තුළ තම දරුවන් මේ පරීක්ෂණවලට ලක්වනවාද යන්න ගැන දෙමාපියන් වැඩි සැලකිල්ලකින් යුතුව සොයා බලා  කටයුතු කිරීම ඉතා වැදගත් වේ. එසේම එම වැඩසටහන් තුළ කිසියම් අඩුපාඩුවක් වේ නම් විදුහල්පති, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී තුමා වැනි වගකිවයුතු අය එසේ හා සම්බන්ධයෙන් දැනුවත් කිරීමට උත්සුක වන්න.

එසේම තම දරුවන්ගේ දත් මේ තත්ත්වයට පත්වන්නට ඉඩ නොදී ඒවා ආරක්ෂාකර ගැනීම වෙනුවෙන් මව්පිය වැඩිහිටියන් විසින් කළ යුතු ඉතා වැදගත් කාර්යක්ද ඇත. කුඩා දරුවන්ගේ මුල්ම කිරිදත මෝදු වූ දා පටන් දත් ආරක්ෂා කර ගැනීමේ දීර්ඝ ක්‍රියාවලියට මුල් පියවර තැබිය යුතුය. ඒවා හොඳින් මැද මුඛය පිරිසිදුව තබා ගැනීමට දරුවන් පුරුදු පුහුණු කිරීම ඉතා වැදගත් කාර්යයකි. කිරි දත් ක්‍රමානුකූලව ගැළවී වැටෙන විට ඊට යටින් තිබෙන ස්ථිර දත් මෝදුවීම ක්‍රමවත් වෙයි. කිරිදත් නිසියාකාරව නිසි කලට ගැළවී වැටීම යනු ස්ථිර දත් මෝදුවීමට මගපෙන්වීමක් හා සමානය. කිරි දත් දිරායාම හා ඒවා කලින් ගැළවීමට සිදුවීම ජු ලෙසම ස්ථිර දත්වල නිරෝගීතාවයට බලපෑම් එල්ල කරයි. ස්ථිර දත් අපිළිවෙළට මෝදුවීමට සේම පසුකාලීනව ඇතිවන දත් රෝග වලට මූලිකම හේතුව කිරිදත් නිසි ලෙස ආරක්ෂාකර නොගැනීමය.

“ඕවා ඉතින් කොහොමත් වැටෙන දත්නේ” කියමින් කිරි දත් ගැන අවධානය අත්හැරීම නම් අනාගතයේ මෝදුවන ස්ථිර දත් වලට හානි ගෙන දෙන්නකි. එසේම කුඩාම දරුවන් දත් මැදීමට දක්වන මැලිකම ද බොහෝ මව්වරුන් විසින් ඒ වගකීමෙන් මිදීමට පෙරට දමන කරුණකි. දත්වල වටිනාකම ගැන කුඩා දරුවන් දන්නේ නැත. තරුණ වියට එළැඹි විට ලස්සන දත් දෙපළක් අහිමිවීමේ ආදීනව ගැන ඔවුනට වැටහීමක් නැත. ඒ ගැන සැලකිලිමත්ව බිලිඳු වියේ සිටම දත් මැදීමට හුරුකරවීම විශේෂයෙන්ම අම්මාගේ යුතුකමකි. දත් මැදීම ආරම්භ කළ යුත්තේ මුල්ම කිරි දත මෝදුවූ දා සිට බව අවධාරණය කළ යුතුමය.  
  
දරුවෙකුගේ දත්වල ගැටලු මතුවීම යනු වෙනත් ගැටලු රාශියකද ආරම්භයකි. දත් දිරායාම නිසා හටගන්නා වේදනාව හේතුවෙන් ආහාර සැපීමට ගැටලු මතු කරයි. එනිසා ‍පෝෂණයේ ගැටලු ඇතිවේ. එසේම දත් දිරායාමේ අවසන් ප්‍රතිඵලය දත ගලවා දැමීමය. එවිට දරුවාට ඒ අඩුපාඩුව නිසා වචන උච්චාරණයේ විශාල ගැටලු ඇතිවනවා සේම දරුවාගේ මුහුණේ පෙනුමේ හැඩයේ වෙනස්කම් වලටද බලපෑම් ඇතිකරයි. දත්වල අසාමාන්‍යතා දත්වල දුර්වර්ණවීම් නිසා පෙනුමට සේම කෙනෙකු හා කතා බහ කිරීමේදී මතුවන පෞර්ෂය හා සම්බන්ධ ගැටලුද සුළුකොට තැකිය හැකි නොවේ. එසේම මෙවැනි ගැටලු තිබෙන දරුවෝ විවිධ අවස්ථාවන් වලට ඉදිරිපත්වීමටද මැලිකමක් දක්වති. දරුවන්ගේ අනාගත අභිවෘද්ධියට ජු ලෙසම බලපෑම් එල්ල කරන මේ දත් රෝග වළක්වා ගැනීමට මූලිකවම කළ යුතු වන්නේ ඉතාම සුළු දෙයකි. ඒ දරුවන්ගේ කිරි දත් වල සිටම හොඳින් මැද පිරිසිදු කර මුඛයේ පිරිසිදු බව දත්වල නිරෝගී බව රැක ගැනීමය.

එසේම කෙසේ හෝ දත් රෝගයකට ගොදුරු වූ විටෙකද එය දරුණු තත්ත්වයට යා නොදී ඉක්මනින් හඳුනාගෙන වෛද්‍ය ප්‍රතිකාර කරා යොමු කිරීමෙන්ද දත් නොගලවා ආරක්ෂා කරගත හැකිය. දත් දිරායාමේ මුල් අවස්ථා වලදීම හඳුනාගතහොත් දත ගැළවීමෙන් වළක්වාගත හැකිය. නමුත් ඉතා අවාසනාවන්ත තත්ත්වය නම් බොහෝ දත් රෝග තිබෙන දරුවන් වෛද්‍යවරුන් වෙත එන්නේ දතේ වේදනාව සහිතව කල්ක කුහරය දක්වාම දත දිරාගිය පසුව වීමය. එවැනි අවස්ථාවකදී දත බේරා ගැනීම සඳහා කළ හැකි දේ ඉතාම සීමිතය. නමුත් දත් දිරායාම යනු එක රැයකින් මතුවන තත්ත්වයක් නොවේ. දත් දිරායාම ආරම්භයේදී හඳුනාගත හැකි විශේෂිත ලක්ෂණයක් තිබේ. මෙය හඳුන්වන්නේ සුදු ලප අවස්ථාව ලෙසනි.  මේ තත්ත්වයේදී දත්වල හෝ මුඛයේ කිසිදු වේදනාවක් දැනෙන්නේ නැත. නමුත් දත්වල සේම විදුරුමස මත කුඩා සුදු ලප දැකගත හැකිය. කුඩා දරුවන්ගේ උඩුතොල ඔසවා හොඳින් ආලෝකය ලැබෙන තැනක සිට පරීක්ෂා කර බලන්න. මෙය බොහෝවිට දැකිය හැක්කේ දතට විදුරුමස සවිවන තැන මායිමේය. මාසයකට පමණ වරක් දරුවන්ගේ මුඛය මේ ආකාරයට පරීක්ෂා කර බලා මෙවැනි සුදු ලප හෝ වෙනත් දුර්වර්ණවීමක් හෝ කිසියම් වූ වෙනසක් දුටුවහොත් වහාම වෛද්‍යවරයෙකු වෙත යොමුවන්න.

එසේම දරුවන්ට දත්වල ඇලෙන සුළු ටොෆි, චුයින්ගම්, චොක්ලට්, පේස්ට්‍රි සේම බිස්කට් වර්ග ලබාදීම සිමාකරන්න. රසකැවිලි සහ දරුවන් අතර සම්බන්ධය බිදිය හැක්කක් නොවේ. එබැවින් දරුවන්ට මෙවැනි කෑම වර්ග ලබා දෙන්නේ නම් ප්‍රධාන ආහාර වේලකට පසු ලබාදී කට සෝදා හරින්න. මෙවැනි ඇලෙන සුළු ආහාර වර්ග වලින් දත් මත දත් දිරායාමට හේතුවන අම්ල වර්ග නිපදවෙයි. මේවා දිගු කලක් දත් මත රැඳී තිබිම දත් දිරායාමට හේතුවෙයි. එසේම දරුවන් අවම තරමින් දවසකට දෙවරක්, ෆ්ලෝරයිඩ් සහිත දන්තා‍ලේපයකින් දත් මැදීමට පුරුදු පුහුණු කරවන්න. දරුවා නිසි ලෙස දත් මදිනවාදැයි පරීක්ෂා කර බලන්න. දරුවාගේ දත් ගැන අවධානයෙන් සිට, දත්වල කිසියම් වෙනසක් ඇත්නම් නොපමාව වෛද්‍ය උපදෙස් පතන්න. දරුවන්ගේ දත් රෝග බොහොමයකට හේතුවන මූලික ලක්ෂණ හඳුනාගෙන ඉක්මන් ප්‍රතිකාර වලට යොමුවීම අනාගත ගැටලු රැසක් අවම කර ගැනීමට හේතුවෙයි.


උපුටා ගැනීම ලක්බිම පුවත් පත ඇසුරෙනි

More News »